අල්ලස් නඩුවෙන් ෆවුසිත් නිදහස්
ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට (රු. 19,500,000) අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කිරීම සම්බන්ධ අල්ලස් චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි එම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (29) නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුවලින් චූදිත නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
වැඩ නැතුව පෙදරේරුවෙකු මාල කඩලා
කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාල මාර්ගයේදී කොල්ල කා පලා ගිය සැකකරු පැය විසි හතරක් තුළ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
කොල්ලකෑ රන් ආභරණ උකස් කිරීමේ වරදට සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ල කන ලද රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා පවුම් එකහමාරක් පමණ බරැති රන් මාලය සහ පෙන්ඩනය හොරණ රන් ආභරණ වෙළඳසැලකට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
තමිල්නාඩුව ලංකාවට ආධාර කරන්න තීරණය කරයි
තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව සිකුරාදා (29) දින ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට ඉන්දීය මධ්‍යම රජයෙන් අවසර ඉල්ලා වෙනම යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය.
ශ්‍රී ලංකාවේ පවතින ජාතික අර්බුදය තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
බදු ඉහළ දැමීම හැර වෙන විකල්පයක් නැහැ
පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවය.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
රඹුක්කන වෙඩි තැබීමට පොලිස් අධිකාරී CID අත්අඩංගුවට
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ජනප්‍රිය නිළි අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. අනූෂා සොනාලි මහත්මිය, රසික හදවත් තුළ ලැඟුම් ගත්තේ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහායි.
ලේ බැංකුවේ සංචිත 40%ට බැහැලා
ජාතික රුධිර පාරවිලයන සේවාවේ ඇති රුධිර සංචිත සියයට 40 දක්වා පහළට පැමිණ ඇතැයි එම සේවාවේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ප්‍රකාශ කළේය. රුධිරය එකතු කිරීම සඳහා යොදා ගන්නා “ටි්රපල්” වර්ගයේ බෑග්වල හිඟයක් හා ප්‍රතික්‍රියකවල තරමක හිඟයක් පවතින බවත්,
මේ නිසා පරිත්‍යාගශීලීන් කැඳවීමට නොහැකි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ හේතුවෙන් රුධිර පාරවිලයන සේවය සතු සම්පත් දැඩි කළමනාකාරිත්වයකින් යුතුව භාවිත කිරීමට තීරණය කළ බවද වෛද්‍ය එදිරිසිංහ කියා සිටියේය.
විශේෂිත කණ්ඩායම්වලට තනිව ඉන්ධන ගෙන්වීමට අවසර
තෝරා ගත් විශේෂිත අත්‍යවශ්‍ය පාර්ශ්ව වෙත ඉන්ධන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර ලබාදීම සඳහා වර්ෂ 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන සංශෝධිත නව ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත අවසන් වශයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු තෝරාගත් විශේෂිත කණ්ඩායම්වලට තනිවම අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවස්ථාව ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අධ්‍යාපන සහ වැවිලි ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා පැවසීය.
කුකුළු මස් 1,500ක් බිත්තරයක් 45ක් වෙයි
සත්ත්ව ආහාරවල පවතින හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් එළැඹෙන අගෝස්තු මාසය වන විට කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන බව පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මාගමගේ පැවැසීය. ඒ අනුව කුකුළු මස් කිලෝවක මිල රුපියල් එක්දහස් පන්සියය දක්වාද, බිත්තරයක මිල රුපියල් හතළිස් පහ දක්වා වැඩි වන බව සභාපතිවරයා සඳහන් කළේය.
ගෑස් 2185කින් නඟී
ලිට්රෝ ගෑස් මිල ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4860ක් දක්වා රු.2185කින්ද කිලෝග්‍රෑම් 5 රුපියල් 1945ක්ද කිලෝග්‍රෑම් 2.3 රුපියල් 910ක් ලෙසද මෙසේ මිල ඉහළ ගොස් ඇත. මේ අතර, ගෑස් මිල වැඩි නොකළහොත් අඛණ්ඩ ගෑස් සැපයුම සඳහා රැගෙන ඒමට නියමිත ගෑස් නැව් සඳහා ගෙවීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසීය.
විදුලි බිල සියයට 100 කින් ඉහළ දැමිමට අවසර
විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය පළවූ බව ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ඒ අනුව ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
සිමෙන්ති මිල නගියි
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400ත් - 500ත් අතර ගණනකින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තිරණය කර තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ත් 2850ත් අතර මිලකට අලෙවි වී තිබේ. රුපියල් 900ක අගයක පැවැති සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට තුන් ගුණයකටත් වඩා ඉහල අගයකින් වැඩි වී තිබේ.
හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.
ලිට්රෝ සමාගම ජනතාව අන්ඳවයි
ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අද (25) නැවත ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද ඊයේ සැපයුම ක්‍රියාත්මක නොවීය.
ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත දෙකෙන්ම ඊයේ දිනයේ ගෑස් නිකුත් නොකළ අතර හෙට (26) දිනයේ ද ගෑස් නිකුත් කිරීම අවිනිශ්චිත යැයි ලිට්රෝ ආරංචි මාර්ග සඳහන් කරයි.
මමත් තාම නෙලුම් කුලුණට ගිහින් නෑ - චීන තානාපති
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීන තානාපතිවරයා පැවසීය.ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේය
මිනී පෙට්ටිත් නෑ
මිනී පෙට්ටි නොමැති වීමෙන් මල්ශාලා හිමියන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවට වාර්තා වේ. පෙට්ටි නිෂ්පාදනය කිරීම අඩුවීම හේතුවෙන්.මල්ශාලා හිමියන් මෙන්ම මියයන පුද්ගලයන්ගේ ඥාතීන් දැඩි අර්බුදයකට පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව ලෙස මිනීපෙට්ටි නිෂ්පාදකයන් පවසන්නේ ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැලුම්වලට නිකුත් නොකිරීම හේතුවෙන් ගස් කපන යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් පෙට්ටි සෑදීම සඳහා ගන්නා ලෑලි අධික ලෙස මිල වැඩි වී ඇති බැවින් පෙට්ටි සෑදීම අසීරු වී ඇති බවයි.
ලංකාවට සල්ලි දෙන්න එපා!
විරෝධතා දැක්වීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ට වෙඩි නොතබන රජයක් පත්වනතුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහාවත් ලංකාවට ණය නොදෙන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයකු වූ මහාචාර්ය රත්නජීවන් හූල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේට ලිපියක් යොමු කර ඇත.
විදුලි කප්පාදුව පැය 4යි විනාඩි 30කට වැඩිවෙයි
ඉන්ධන හිඟය හා ජල විදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25 දා සිට 27 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පැය 4යි විනාඩ් 30ක් දක්වා දෛනිකව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
බේකරි කෑම නිෂ්පාදනය 50% කින් පහළ බසී
තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළ දැමීමෙන් සියලුම බේකරි නිෂ්පාදන දෛනිකව 50% කටත් අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (22 දා) පැවසීය.
පවතින ගෑස්, ඉන්ධන අර්බුදය මේ සඳහා දැඩි සේ බලපාන බවත් ඔහු කීය. නිෂ්පාදනය මෙන්ම අලෙවිය ද ඉතාමත් අවම මට්ටමක පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.



















