වැඩ නැතුව පෙදරේරුවෙකු මාල කඩලා


කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාල මාර්ගයේදී  කොල්ල කා පලා ගිය සැකකරු  පැය විසි හතරක් තුළ දී  ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.


කොල්ලකෑ රන් ආභරණ උකස් කිරීමේ වරදට සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ල කන ලද රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා පවුම් එකහමාරක් පමණ බරැති රන් මාලය සහ පෙන්ඩනය හොරණ  රන්  ආභරණ වෙළඳසැලකට උකස් කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

පෙරේදා (27දා) දහවල් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර කාන්තාව සිය දරුවාගේ පොත් කීපයක් විදුහල වෙත භාරදීම සඳහා පැමිණෙමින් සිටි අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණෙමින් තිබූ සැකකරු කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කන අයුරු අසල  සීසීටිවී කැමරාවක සටහන්ව තිබීමෙන් අනතුරුව ,කොල්ලයට යොදාගත්  යතුරුපැදියේ ලියාපදිංචි අංක ඔස්සේ  සිදු කළ පරික්ෂාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පෙදරේරු රැකියාවේ නිරත සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිමෙන්ති සහ අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමඟම රැකියා කටයුතු ඇනහිටීම හේතුවෙන් රන්මාල කොල්ලකෑම සඳහා තීරණය කළ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

30 හැවිරිදි   සැකකාර අඹුසැමි යුවළ හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය..