ලේ බැංකුවේ සංචිත 40%ට බැහැලා


ජාතික රුධිර පාරවිලයන සේවාවේ ඇති රුධිර සංචිත සියයට 40 දක්වා පහළට පැමිණ ඇතැයි එම සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ප්‍රකාශ කළේය. රුධිරය එකතු කිරීම සඳහා යොදා ගන්නා “ටි්‍රපල්” වර්ගයේ බෑග්වල හිඟයක් හා ප්‍රතික්‍රියකවල තරමක හිඟයක් පවතින බවත්,


මේ නිසා පරිත්‍යාගශීලීන් කැඳවීමට නොහැකි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ හේතුවෙන් රුධිර පාරවිලයන සේවය සතු සම්පත් දැඩි කළමනාකාරිත්වයකින් යුතුව භාවිත කිරීමට තීරණය කළ බවද වෛද්‍ය එදිරිසිංහ කියා සිටියේය.

අධ්‍යක්ෂවරයා මේ අදහස් පළ කළේ ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

සියයට සියයක්ම ආනයනික උපකරණ හා ප්‍රතික්‍රියක මත මෙම සේවාව පවත්වාගෙන යන අතර ඒවාද යුරෝපයෙන් ආනයනය කරන බවත්, රටේ පවතින විනිමය අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් කී අධ්‍යක්ෂවරයා ප්‍රමාණවත් ලෙස නොවුණත් මෙම අවශ්‍යතා විටින් විට ලැබෙන බවත් කියා සිටියේය.

දිනකට රුධිර ඒකක 1200 – 1400ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ යැයිද මේ වන විට හදිසි නොවන සැත්කම් කල් දැමීම හේතුවෙන් දෛනික අවශ්‍යතාව ඒකක 1100 තරම් වන්නේ යැයිද කී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මේ වන විට පවතින සමස්ත රුධිර ප්‍රමාණය මධ්‍යස්ථානයේ 12,000ක් පමණ වන අතර පර්ෂද මූලස්ථාන විසි හතරෙහි ඒකක 7000ක් පමණ වන බවද කීවේය.

යුරෝපීය නිර්ණායක අනුව පවත්වාගෙන යන ජාතික රුධිර පාරවිලයන සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද අගයා ඇති බවත්, එම මට්ටම් පවත්වාගෙන යමින් පවතින අර්බුදයට මුහුණ දීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් හදිසි සැත්කම්, විශේෂයෙන් ගැබිනි මවුවරුන්ගේ හා දරුවන්ගේ සැත්කම්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය.  සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ රුධිර

දන්දීමේ කඳවුරු පැවැත්වෙන්නේ අඩුවෙන් බවත්, මේ සංචිත හිඟයට එයද යම් ප්‍රමාණයකින් හේතු වී ඇති බවත් පැවැසූ ඔහු, සෑම වසරකම මැයි මාසයේ එම කඳවුරු වැඩි වන බැවින් එහි අඩුවක් වෙනදා නොදැනුණු බවත් කීවේය.

මෙම මාධ්‍ය හමුවට ජාතික රුධිර පාරවිලයන සේවාවේ රුධිර පාරවිලයනය පිළිබඳව ජේ‍යෂ්ඨ විශේෂඥ වෛද්‍ය සෙනරත් ජයසේකර මහතාද සහභාගි විය.

විනීතා එම්.ගමගේ