විශේෂිත කණ්ඩායම්වලට තනිව ඉන්ධන ගෙන්වීමට අවසර


තෝරා ගත් විශේෂිත අත්‍යවශ්‍ය පාර්ශ්ව වෙත ඉන්ධන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර ලබාදීම සඳහා වර්ෂ 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන සංශෝධිත නව ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත අවසන් වශයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු තෝරාගත් විශේෂිත කණ්ඩායම්වලට තනිවම අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවස්ථාව ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අධ්‍යාපන සහ වැවිලි ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙරටට ඉන්ධන ආනයනයේදී මෙතෙක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ අවසරය නිමා කෙරෙමින් තම අවශ්‍යතා අනුව ඒ ඒ පුද්ගලයන්ට ඉන්ධන ආනයනය කිරීම සඳහා සංශෝධිත පනත අනුව අවසර හිමිවන අතර විශේෂයෙන් විදුලිය උත්පාදනය, අපනයන කර්මාන්ත සහ ධීවර යන ක්‍ෂේත්‍ර සඳහා මෙහිදී ප්‍රමුඛතාවක් ලබා දීමට නියමිතය. ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ තත්ත්වය හමුවේ අදාළ ක්‍ෂේත්‍රවලට එල්ල වූ බලපෑම සැලකිල්ලට ගනිමින් විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවූ බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
සමන් ගමගේ