ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජ‍යසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධ තමා තුළ පවත්නා ප්‍රතිපත්තිමය කරුණු මත තමා ඊයේ (අප්‍රේල් 14) දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව ය. සිය ධූරයේ වැඩ භාර ගත් දා සිට මුදල් අමාත්‍යංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අයත් විෂය පථය භාරව සිටි වගකිව යුතු අමාත්‍යවරයාගේ හෝ මුදල් ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහය නිසි ආකාරයෙන් තමාට නොලැබුණු බව ඔහු එම ලිපියෙහි සඳහන් කර ඇත. වත්මන් මුදල් අමාත්‍යරයාගේ සහය ලැබෙන බව නිරීක්ෂණය වී ඇති බව ද අදාළ ලිපියෙහි සඳහන් කර ඇති අතර තමාට හැඟෙන පරිදි වර්තමානයේ රට තුළ පවතින ගෑස් අර්බුදය ඉතා පහසුවෙන් විසඳාගත හැකිව තිබූ අතර තවමත් ප්‍රමාද නොමැති බව ද එහි සඳහන් ය. ඔහු අදාළ ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, අභ්‍යන්තර පීඩනයට මුහුණ දෙමින් මෙතෙක් දුරට හෝ මෙම තනතුරෙහි රැඳී සිටීමට තමා ක්‍රියා කළේ, ගෑස් යනු අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම කෙසේ හෝ පවත්වාගෙන යාම හරහා මහජන පීඩනය යම්තාක් දුරට හෝ සමනය කිරීම සඳහා බව ය.