VAT බදු ක්‍රමය අහෝසි කෙරේ


එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, එම තීරණය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතු බව රජය පවසයි.

ඒ යටතේ බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය අහෝසි කිරීම ත් සිදු කළ යුතු බව රජය පැවසීය.

රජය සඳහන් කළේ, දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කීකරණය කිරීම මගින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩි කර ගැනීමට හැකියාව පවතින බව ය.

ඒ අනුව, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර සඳහා වන නිදහස් කිරීම් මෙන් ම, අඩු ආදායම් ලාභී පවුල් මත පීඩනය ලිහිල් කිරීම් තවදුරට ත් රඳවා ගෙන, එකතු කළ අගය මත බදු නිදහස් කිරීම්වලින් බහුතරයක් ඉවත් කිරීමට ත් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩා ත් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය මෙලෙස අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

රජය සඳහන් කළේ, එම කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට ත් ඊට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.