ගයේෂා දේශපාලන පිටියට බැහැලා

හැමදාමත් අලුත් විදියේ වැඩක්‌ හරහා කරළියට එන චරිතයක්‌ තමයි ගයේෂා කියන්නෙ. රංගනය ජීවිතය කරගත් ඇය රූ රැජනක්‌ විදිහටත් ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා.

පසුගිය කාලේ සමාජ සේවයටද කැප වුණා. දැන් තමයි එහි ඇත්ත නැත්ත හෙළි වෙන්නෙ. ඔන්න ගයේෂත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවලු.


ගයේෂා දේශපාලන පිටියට බැහැලලු නේද?

අමුතුවෙන් පිටියට බහින්න දෙයක්‌ නෑ. මම කොහොමත් දේශපාලන පිටියේ හිටපු කෙනෙක්‌. මෙවර ඡන්දයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාම යෝජනා භාර දුන්නා.

දේශපාලනයේ නියෑළෙන්න ඔබට ඒ ගැන දැනුමක්‌ තියෙනවද?

අනිවාර්යෙන්ම. මම දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක්‌. අනික ගයේෂා පෙරේරා කියන්නෙ කවදාවත් බැරි වැඩ කරන චරිතයක්‌ නෙමෙයි. දැනුම, හැකියාව වගේම අත්දැකීම් තියෙන නිසා තමයි මම දේශපාලනය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ.

ඔබ සමාජ සේවිකාවක්‌ විදියට ඉතා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්‌?

ඔව්. සමාජ සේවය කියන්නෙ මගේ ජීවිතේ අනිවාර්ය අංගයක්‌. සමාජයට සේවයක්‌ කරනවා කියන්නෙ උතුම් දෙයක්‌ කියලයි මම හැම වෙලාවෙම හිතන්නෙ. ගයේෂා පෙරේරා පදනම හරහා කොළඹ දිස්‌ත්‍රික්‌කයට විශාල වැඩ කොටසක්‌ කරලා තියෙනවා.

ඔය කියන උතුම් ක්‍රියා ඡන්ද ගුණ්‌ඩු වෙන්න බැරිද?

ඡන්ද ගුණ්‌ඩු හරහා ජනතාව රවට්‌ටන පිරිස වැඩි නිසා ඕනෑම අපේක්‌ෂකයෙක්‌ - අපේක්‌ෂිකාවක්‌ ගැන මිනිස්‌සු බලන්නෙ වපර ඇහින්. මට නම් ඒ විදියට ජනතාව රවට්‌ටලා ඡන්ද ලබා ගන්න කිසිම අවශ්‍යතාවක්‌ නෑ. හරි දැක්‌මකින් දේශපාලනය කරගෙන යනවා ඇරෙන්න.

ජිනීවාහි මානව හිමිකම් කොමිසමට ගියා කියලත් ආරංචියි?

ඔව්. ජිනීවාහි සිටින සහෝදර පිරිසකගේ විශේෂ ආරාධනයෙන් මම එහි සැසියකට සහභාගි වුණා. ඒ හරහා මම ලබපු දැනුම සහ අත්දැකීම් මගේ ඉදිරි ගමනට ගොඩක්‌ ප්‍රයෝජනවත් වේවි.

පහුගිය කාලෙ ලංකාවෙ හිටියෙ නැත්තෙ ඒකද?

එහෙමමත් නෙමෙයි. පුතා ලැබුණට පස්‌සෙ අපිට විදේශ සංචාරයක යෙදෙන්න බැරි වුණා. ඒ නිසා අපි නෙදර්ලන්තයෙ, බෙල්ජියමෙ, ප්‍රංශයෙ, ස්‌විට්‌සර්ලන්තෙ සංචාරය කරන්න හිතුවා.

සැමියත් දරුවත් සමඟ ගෙවන ජීවිතේ කොහොමද?

ඇත්තටම හරිම සුන්දරයි. පවුලක්‌ වුණාම බැඳීම්වලට විශේෂ තැනක්‌ දිය යුතුමයි. ඒ තුළ අපි තුන් දෙනා සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා.

පුතා ලොකු නිසාද ආපහු වැඩ පටන් ගත්තෙ.

එයාට තාම මාස නවයයි. ඒ නිසා මම ලොකුවට වැඩ භාර ගන්නෙ නෑ. පුතාගෙ වැඩ අතපසු කරන්නෙ නැතුව එයාවත් බලා ගන්න ගමන් මට ලැබෙන නිර්මාණවලින් හොඳම එකක්‌ තෝරා ගෙන හෙමිහිට ගමනක්‌ යනවා.

රූගත කිරීම්වලට යන්නෙ පුතත් අරගෙනද

අනේ ඔව්. එයාව තනි කරලා ගිහින් වැඩ කරලා එන්න මට බෑ. අරගෙන ගියාම එයා මා ළඟ ඉන්නවනෙ.

සැමියා කියන්නෙ නැද්ද දරුවා ලොකු වෙනකම් රඟපාන්න එපා කියලා.

එයා දන්නවා මොන දේ කරත් මම පුතාගෙ වැඩ අතපසු කරන්නෙ නෑ කියලා. අනික ඔහු මට අනවශ්‍ය තහංචි දාන කෙනෙකුත් නෙමෙයි. මමම හිතලා තමයි වැඩිය වැඩවලට නොයා ඉන්නෙ.

අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේම නැද්ද?

ටෙලිනාට්‍ය හතකට විතර ආරාධනා ලැබුණත් තව ටිකක්‌ මේ විදියට ඉන්නවා කියලා හිතුවා.

විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙනවා කියන්නෙ ඇත්තද?

නෑ. එහෙම අදහසක්‌ දැනට නෑ. එවැනි තරගවල ජඡ් බෝඩ් එකට නම් සම්බන්ධ වෙනවා.

ආපහු ජාත්‍යන්තරයට යන්න අදහසක්‌ නැද්ද?

අදහසක්‌ තියෙනවා. මගේ රට නියෝජනය කරලා කීර්තියක්‌ අත්කර දෙන්න. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි. සුදුසු කාලය ආවම බලමු මොනවද කරන්න පුළුවන් කියලා.

දැන් මවක්‌ නිසා පෙම්වතියගෙ චරිතෙ ගයේෂගෙන් ගිලිහෙයිද?

ඒ ගැන මට කියන්න බෑ. අපේ වයසට රූපයට අනුව ලැබෙන චරිත ලැබෙයි. එයින් කැමැති ඒවා භාර ගෙන අකැමැති ඒවා ප්‍රතික්‌ෂේප කරනවා. පෙම්වතියකගෙ චරිතෙ ලැබුණොත් ඒක කරන්න බැරිකමක්‌ මේ ගයේෂට නෑ.

ධම්මික හේවාවසම්