ශ්‍රී ලංකා ක්‍රිකට්: ICC තහනම ඉවතට


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මීට පෙර අවස්ථාවකදී සඳහන් කර තිබුණේ, එම තහනම නුදුරේදී ඉවත් වනු ඇති බවට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.

ඔන්ලයින් පනත සම්මත වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (ජන. 24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 108ක් හිමි වුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 62ක් පමණි. 
 ඒ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳපනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1 කින් ජය ලැබීය. ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක ඉලක්කය ඕවර 16 කදී කඩුල්ලක් පමණක් දැවවී සම්පූර්ණ කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය. තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන ලැබීය.

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර දී කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 ඉකුත් දෙවෙනි දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගනයේ දි පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

VAT බදු ක්‍රමය අහෝසි කෙරේ


එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, එම තීරණය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතු බව රජය පවසයි.