අලි වැඩියි: පිටරටට විකුණන්න ඕනෑ

මෙරට අලි ගහනය අඩු කිරීමට නම් අලි පිටරටට...හරි විකුණන්න ඕනෑයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා යෝජනාවක් කරයි.

ඔහු කියන්නේ මේ යෝජනාව එතරම් ජනප්‍රිය නොවන්න පුළුවන් බවයි.
ලංකාවේ වනජීවීන් පිළිබඳ තිබෙන්නේ මෝඩ ප්‍රතිපත්තියක්. වනජීවී ප්‍රතිපත්තියේ විශාල අඩුපාඩුවක් තියෙනවා. මෙම අලි ගහනය අඩු කිරීමට නම් අලි පිටරටට හෝ විකුණන්න ඕනෑයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ ඊයේ (4දා) පැවැති බළන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේදීය.

ලංකාවේ අලි ගහනය විශාල ලෙස වැඩි වෙලා. ලංකාවේ ඇති වන ගහනය අනුව අලි 4000කට පමණයි ජීවත් විය හැක්කේ. නමුත් මේ වන විට වන අලින් 6000කට වඩා සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ බළන්ගොඩ වටවල විහාරාධිපති පූජ්‍ය වටවල චන්දානන්ද හිමියන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

දැන් බලන්න වල් උෟරන් මරන්න පුළුවන්. නමුත් මස් ළඟ තබා ගන්න බෑ. පොලිසියෙන් ඇවිල්ලා අල්ලලා නඩු දානවා. කොයි තරම් මෝඩ නීතියක්ද මේක. වල් උෟරන්ද විශාල ලෙස වැඩිවී තිබෙනවා. දුර්ලභ සතා සංරක්ෂණය කළ යුතුයි. සුලභ සතා පාලනය කළ යුතුයි.
සිංහරාජයේ අලියා මිනිසුන් කීප දෙනකු මරා දැමුවා. ඒ ප්‍රදේශයේ ජනතාව කීවේ අලියා අල්ලාගෙන වෙනත් ප්‍රදේශයකට ගෙන යන්න කියලා. අලියා අල්ලා ගෙනියන්න හදන කොට මිනිසුන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේක මේ විදියට කරන්න බැහැ. වන ජීවීන් සඳහා හරි ප්‍රතිපත්තියක් අවශ්‍යයි.
ඊට අමතරව වඳුරන් හා රිළවුන්ගේද විශාල වර්ධනයක් ලංකාවේ දක්නට තිබෙනවා. මේ සතුන්ද යම් පාලනයකට ලක් කළ යුතුයි.