කි.මී 378ක් ධාවනය කරන නිසාන් ලීෆ් වෙළෙඳ පොළට

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් (සැතපුම් 235ක්) ධාවනය කළ හැකි නවතම නිසාන් ලීෆ් රථය ඔක්තෝබරයේදී වෙළෙඳ පොළට හඳුන්වාදීමට යයි.

කෙසේ වෙතත්, මෙම රථය දැනට වෙළෙඳ පොළේ පෙරමුණ ගෙන සිටින එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ අභිභවා ගොස් නැති බවද වෙළෙඳ පොළ දත්ත පවසයි.

මෙම නව ලීෆ් රථය autonomous driving technology ඇතුළු නවීන තාක්ෂණයන්ගෙන් මෙන්ම, නූතන පෙනුමක්ද සහිතව වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබේ.

වර්තමානයේදී විද්‍යුත් මෝටර් රථ සඳහා පවතින වෙළෙඳ පොළ තරගකාරීත්වයේදී සුවිශේෂී තරගයක් ලබාදීමට නිසාන් ලීෆ් රථයට තවමත් හැකිවී ඇති අතර, ලෝකයේ හරිතාගාර වායු විමෝචනයට එරෙහි ප්‍රතිපත්ති සමග මෙවැනි මෝටර් රථ සඳහා පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යෑම මෙම තරගයට හේතු වී තිබේ.

මෙම නව ලීෆ් රථය එළැඹෙන ඔක්තෝබරයේදී ජපාන වෙළෙඳ පොළට හඳුන්වාදෙන අතර, 2018 මුලදී ලෝකයේ සෙසු වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීමට නියමිතය.

මෙම රථයට කිලෝවොට් පැය 40ක ධාරිතාවයෙන් යුතු බැටරියක් යොදාගැනීම නිසා එක් ආරෝපණයකින් වැඩි දුරක් ධාවනයට ඉඩ සැලසී තිබේ.

එමෙන්ම, මෙම රථය පෙර පැවති ලීෆ් රථවලට වඩා බැලූ බැල්මට පාරිභෝගිකයන්ගේ සිත් බැඳගන්නා නිමාවකින් යුතු රථයක් බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.