හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්‌

නිකිණි පෝය යෙදී ඇති හෙට (07 දා) දින රාත්‍රී අර්ධ චන්ද්‍රග්‍රහණයක්‌ දැක ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්‌ථාව උදාවී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ...

විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම චන්ද්‍ර ග්‍රහණය හෙට (07 දා) රාත්‍රි 9.20 ට ආරම්භ වී පසුදින (08 දා) අලුයම 2.21 දක්‌වා පවතින බවත් ග්‍රහණය හොඳින්ම දිස්‌වන්නේ රාත්‍රි 10.53 සිට බවත් හෙතෙම කියා සිටියේය.

මෙහි උපරිම අවස්‌ථාව රාත්‍රි 11.51 වන බවත් එවිට චන්ද්‍රයාගේ සියයට 25 ක්‌ පමණ පෘථිවියේ පූර්ණ ඡායාවෙන් වැසී යනු ඇතැයි ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම ග්‍රහණය ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලටද යුරෝපය, අප්‍රිකාව, ඕස්‌ටේ්‍රලියාව වැනි රටවලට දිස්‌වන බවත් පැවැසූ හෙතෙම නැවැත අප රටට චන්ද්‍රග්‍රහණයක්‌ දිස්‌වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 31 සහ ජුලි 27 යන දිනවලදී පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙකක්‌ ලෙස බව වැඩිදුරටත් කීවේය.