අවසානයේ තෙවැනියා වූ බෝල්ට්‌

රන් පදක්‌කමක්‌ සමගින් සිය සමුගැනීමේ සාදය සැමරීමට අපේක්‌ෂාවෙන් සිටි උසේන් බෝලට්‌ එංගලන්තයේ ලන්ඩන් නුවර ක්‍රියාත්මක ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී සහභාගී වූ සිය ක්‍රීඩා දිවියේ අවසන් මීටර් 100 ඉසව්වේ තෙවන ස්‌ථානයට පත්විය.

30 හැවිරිදි බෝල්ට්‌ අදාළ ඉසව්ව තත්. 9.95 කින් අවසන් කරන අතරවාරයේ තත්. 9. 92 කින් තරගය නිම කළ ඇමරිකාවේ 35 හැවිරිදි ජස්‌ටින් ගැට්‌ලින් එහි රන් පදක්‌කම දිනාගනු ලැබීය.

අදාළ ඉසව්වේ තෙවැනි ස්‌ථානය ඇමරිකාවේම ක්‍රිස්‌ටියන් ඔලිමන් විසින් දිනාගත් අතර ඔහුගේ තරග නිමි කාලය තත්. 9.94 ක්‌ ලෙස සටහන් වී තිබුණි. හෙතෙම තවමත් 21 වැනි වියේ පසුවීම විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ.

කෙසේ නමුත් මෙම තරගය අවසානයේ ලෝක ශූර උසේන් බෝල්ට්‌ පවසා ඇත්තේ 'තරගයේ ආරම්භය මා මරා දැමූ බවයි'

එහිදී අදහස්‌ දක්‌වා සිටි රන් පදක්‌කම දිනූ ගැට්‌ලින් 'මේක බෝල්ට්‌ගේ අවසන් තරගය. ඒක අපූරු අවස්‌ථාවක්‌. තරගය අතරතුර අප තරගකරුවන් වුවත් ඉන් පිටතදී අපි කාලය ගත කරන්නේ ඉතාමත් විහිළුවෙන්. ඔහු නිහතමානි චරිතයක්‌. තරගය නිමවී ඔහු මුලින්ම කළේ මට සුබ පතපු එකයි.' යනුවෙන් පවසා තිබේ.

කෙසේ නමුත් තරගය අවසානයේ බොල්ට්‌ විසින් ගැට්‌ලින්ට සුබ පැතීමට පැමිණි අවස්‌ථාවේ දණ නමා බෝල්ට්‌ දෙසට දැත් දිගුකොට ගැට්‌ලින් විසින් ආචාර කිරීම විදෙස්‌ මාධ්‍යයන්හි කතාබහට ලක්‌ව තිබුණි.