Monarch යන නාම පදයට සිංහල තේරුම් රැසක් තිබේ. ඊශ්වර දෙවියන් හඳුන්වනු ලබන්නේ මොනාක් ලෙසය. මහරඡ්ජුරුවන්ට කියන නම් බොහෝ ගණනක් අතරින් එකක් වන්නේ මොනාක් ය. මොනාක් නාමය මේ දිනවල මේ රටේ ජන ව්‍යවහාරය තුළ බහුලව පවතී. ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති සමාගමක හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින් විදේශ ඇමැති රවි කරුණානායක වෙනුවෙන් මුදල් ගෙවා මිලට ගත්තේ යෑයි කියන මොනාක් රෙසිඩන්සිස් නමැති සුඛෝපභෝගී එපාර්ට්‌මන් එකක් පිළිබඳව බැඳුම්කර කොමිසමේ සාක්‍ෂිවලින් හෙළිදරව් වීමත් සමඟය.
රවීට ලැබුණ එපාර්ට්‌මන්ට් නිවාසයේ මුල් අයිතිකරු මුතුකුඩ ආරච්චිගේ විනෝදනී නමැත්තියක් බව කියනු ලැබේ. ඇය මේ රටේ සුප්‍රකට කෝටිපතියකු වන නහීල් විඡේසූරියගේ දියණියය. පසු කාලයේදී ස්‌වර්ණවාහිනිය බවට පත් ETV රූපවාහිනි සංඛ්‍යාතයේ අයිතිකරු වන නහීල් මේ රටේ අධිකරණ ඉතිහාසයේ සුප්‍රසිද්ධ නඩුවකින් ජයගත් කෙනෙකි.

මේ බව ආරංචි වූ එම වැඩසටහන්වල සැබෑ අයිතිකරුවෝ නහීල් විඡේසූරිය නීති විරෝධී ලෙස තම වැඩසටහන් අත්පත් කර ගන්නා බව කියමින් වන්දි ඉල්ලා නඩු දැමූහ. එහෙත් නහීල්ගේ තර්කය වූයේ අපේ අහස උඩින් යන තරංග අල්ලා ගැනීමට කාගෙන්වත් අවසරයක් වුවමනා නැති බවය. අධිකරණය එම තර්කය පිළිගත් අතර නහීල් විඡේසූරිය නඩුවෙන් නිදහස් විය. මෙය Landmark නඩු තීන්දුවකි. (කෙසේ වුවද මෙය මොනාක් රෙසිඩන්සිස් සිද්ධිය හා සම්බන්ධ නැති අතුරු කතාවකි. පාඨකයාට අමතර තොරතුරක් දෙනු පිණිස මෙය මතක් කරන ලදි.)
සුපිරි නිවාස සංකීර්ණයේ ඇතුලත දර්ශනයක්

ඒ අතර පුද්ගලික මුදලාලිලා සතු වූ ෆ්ලැට් කිහිපයක් විය. ඉන් ප්‍රධානතම තට්‌ටු නිවාසය වූ කලි තිඹිරිගස්‌යායේ ඩික්‌මන් පාර සමඟ හයිලෙවල් පාර එකතුවන තැන පිහිටි බෝගල ෆ්ලැට්‌ස් ය. මේ සියවසේ පළමුවන කාර්තුවේ දී බෝගල මිනිරන් පතල පටන්ගත් ධනවත් මුදලාලි විසින් සාදන ලද බෝගල තට්‌ටු නිවාසවල මුලින්ම පදිංචි වූවෝ ධනවත්තුය.
තට්‌ටු නිවාස සෑදීමේ කර්මාන්තයට මේ රටේ පුද්ගලික අංශය හරියටම අවතීර්ණ වන්නේ 1990 න් පසුවය. ඒ වන විට ෆ්ලැට් යන වචනයට ලැබී තිබුණේ ඉතා කාලකන්නි අර්ථකථනයකි. කසිප්පු කාරයන් සහ සූස්‌තිකාරයන් පිරුණු, ගහ බැණ ගන්නා ගැහැනුන්ගෙන් සපිරි, හොටු පෙරාගත් ළමයි හැම තැනම දුවන ලොකු තට්‌ටු ගොඩනැඟිල්ලක් මේ අර්ථකථනය මගින් නිරූපණය කෙරිණ. එම ගොඩනැඟිල්ල ඉදිරිපිට පාරේ කත්කාරයෝත්, බත් කාරයෝත්. මාළු කාරයෝත්, සරුවත් කාරයෝත් ගමන්ගත්හ. මෙය පරිහානිගත නාගරීකරණයේ ජඩ දැක්‌මකි. ඒ අනුව ෆ්ලැට් යන නම තවදුරටත් මාකට් කිරීමට බැරි විය.
ඒ බව දැනගත් බුද්ධිමත් ව්‍යාපාරිකයන් පිරිසක් ෆ්ලැට් යන නම වෙනුවට රෙසිඩන්සි යන නම යොදා තට්‌ටු නිවාස මාකට් කරන්නට වූහ. එහෙත් රෙසිඩන්සි සංකල්පය ඉතා පුළුල් ය. රෙසිඩන්සි පිහිටි තට්‌ටු ගොඩනැඟිල්ලක් හැම විටකම පිහිටියේ නගරයේ හොඳම තැනය. එහි මිල ඉතා වැඩි විය. ඒ නිසා ඒවා මිලදී ගැනීමට ආණ්‌ඩුවේ ක්‌ලාක්‌ලාට බැරි විය. ඒ වෙනුවට සල්ලි තිබෙන Posh අය එනම් දොස්‌තරලාද, ඉංජිනේරුවෝද, ක්‍රිකට් ගහන කට්‌ටියද නීතිඥයෝ ද, ව්‍යාපාරිකයෝ ද, මැණික් මුදලාලිලා ද ඒවා මිලට ගත්හ. ඒවායේ සිටි දරුවන් උගත්තේ ජාත්‍යන්තර පාසල්වලය. ඔවුන් කතා කළේ ඉංග්‍රීසිය.
අර්ජුන ඇලෝෂියස් විසින් රවි කරුණානායකට මිලදී ගෙන ඇත්තේ යයි කියන මොනාක් රෙසිඩන්සිස් නිවාසය මෙකී පරම්පරාවේ ගොඩනැඟිල්ලකි. මෙහි උස අඩි 371 කි. තට්‌ටු ගණන 30 කි. වසර 2005 සෑදීම අරඹන ලද මෙය 2007 දී නිම කරන ලදී. ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම සැලසුම් කළෝ සිංගප්පූරුවේ ජියාක් චුවාන් පාරේ අංක 089264 දරන තැන පිහිටි Palmer and Turner ගෘහ නිර්මාණ ශිල්පී සමාගමය. ගොඩනැඟිල්ල සැලසුම් කිරීමට භාර ගන්නා අවස්‌ථාවේදී ඔවුහු චීනයේ විශාල තට්‌ටු ගොඩනැඟිලි 9 ක් සැලසුම් කරමින් සිටියාහ. අද වන විට ඒ සියල්ල සාර්ථක ලෙස ඉදිකර අවසන් ය.
මොනාක් රෙසිඩන්සිස් නිවාස සමූහය පිහිටා ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යාබදවය. මෙහි ඇති නිවාස කාමර 1, 2, 3, යනාදී වශයෙන් විවිධ ප්‍රමාණවලින් ලබාගත හැකිය. ඒවා සකලාංග සම්පූර්ණ තරු 5 පහසුකම් සහිතව නිමා කර තිබේ. ඒවායේ පොළවට අල්ලා ඇත්තේ පදම් කළ දැවය. නිවාස සමූහයට අයත් පිහිනුම් තටාකයක්, කායවර්ධනාගාරයක් (Gym) හා සම්බාහනාගාරයක් ඇත. පැය 24 පුරාම ගොඩනැඟිල්ලට ආරක්‍ෂාව සැපයේ. සමහරු මේවායේ ස්‌ථිර පදිංචිකරුවෝය. තවත් සමහරු කුලී නිවැසියෝ ය. තවත් සමහර සංචාරක සමාගම් මේ නිවාස මිලට ගෙන විදේශික සංචාරකයන්ට කුලියට දෙති. තනි කාමරයේ එපාර්ට්‌මන්ට් එකක අඩුම කුලිය දිනකට ඩොලර් 140 කි. කාමර 2 ක එපාර්ට්‌මන්ට් එකක් ඩොලර් 160 කට දෙනු ලැබේ. ගෙයක සින්නක්‌කර මිල රුපියල් කෝටි 20 - 25 අතරය.
කුලියට දීමෙන් ආදායමක් ලැබීමේ අපේක්‍ෂාවෙන් මිලට ගන්නවා නම් Monarch රෙසිඩන්සි වැනි එපාර්ට්‌මන්ට් එකක් යනු පරම්පරා හතකට ජීවත් විය හැකි දේපළකි.
සෙක්‌ස්‌ටස් රබන්කිකිඳ