රවි ගෙදර යන්න සූදානමක

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග හෙළි කළේය.
මේ අනුව ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාටත් එ.ජා.ප. උප නායක තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් බාර දීමට සූදානමින් සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කළේය. ඊට පෙර ඔහු ජනපති අගමැති හමුවී ඔහුට එරෙහිව ඇති චෝදනා හා ආණ්ඩුව තුළ සිටිමින්ම තමන්ට එරෙහිව කටයුතු කරන මැති ඇමැතීන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටත් සූදානම් වන බවද ඇමැතිවරයාට සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

රවි කරුණානායක මහතාට අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනටමත් දැනුම් දී ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කීපදෙනෙකුම ඉකුත් සති අන්තයේ ප්‍රකාශ කර තිබුණි. මේ අතර එ.ජා.ප. ඇමැතිවරුන් හා මන්ත්‍රී කණ්ඩායමක්ද රනිල් වික්‍රමසිංහ මහතා හමු වී රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස බලකර ඇති බවද සතිඅන්ත මාධ්‍ය වාර්ත කර තිබුණි.

ජයසූරිය උඩුකුඹුර