"ආවා" ලොක්කා ඇතුළු 6ක් අත්අඩංගුවට

යාපනයේ ආවා කල්ලිය ප්‍රධානියා ඇතුළු හය දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සත්‍යවේල්නාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් නැමති මෙම ආවා කණ්ඩායමේ ප්‍රධානියා පසුගිය දා යාපනය කෝපායි කොන්ඩාවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය ප්‍රදේශයේ පදිංචි රාජ් කුමාර් ජෙයකුමාර් හෙවත් විනෝද්, නැගෙනහිර කොකුවිල් ප්‍රදේශයේ පදිංචි කුලේන්ද්‍රන් මනෝජිත් හෙවත් මනෝජ් හා නැගෙනහිර කොකුවිල් ප්‍රදේශයේ පදිංචි ශිව සුභ්‍රමනියම් යන සැකකරුවන් තිදෙනා පිටකොටුව බස් නැවතුම් පොළේ දී අත්අඩංගුවට පත් වී ඇති අතර එක් අයෙක් මට්ටක්කුලිය ප්‍රදේශයේදී හා අනෙක් දෙදෙනා අද උදෑසන යාපනය ප්‍රදේශයේ දී මෙලෙස හසුවී ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී කාන්තන් කුගුදාස් හා යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි අර්ජුනම් ප්‍රසන්තායි.

සැකකරුවන් ළඟ තිබූ කඩු 2ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස්පතිවරයාගේ පූර්ණ උපදෙස් මත සිදු කෙරුණු පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.