ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු විස්‌සයි විස්‌ස අද

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙරට අතර පැවැති ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම සම තත්ත්වයකට පත්වූ හෙයින් මෙම විස්සයි 20 තරග දෙක උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැදවා ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන්නේ වසර 2කට පසුවය. දැනට ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතුරින් සිවුවැනි ස්ථානයේ සිටින මාලිංග ( විස්සයි 20 කඩුලු 84යි) අද තරගයේදී තවත් කඩුල්ලක් ලබාගතහොත් විස්සයි 20 පන්දු යවන්නන්ගේ ලේඛණයේ දෙවැනි ස්ථානයට පත් වේ. උමාර් ගුල් හා සහිඩ් අජ්මාල් කඩුලු 85 බැගින් ලබා ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතුරින් දෙවැනි ස්ථානයේ සිටින අතර සහීඩ් අෆ්රීඩි කඩුලු 97ක් ලබා පළමු තැන සිටී.

බංග්ලාදේශය සමග දෙවැනි විස්සයි 20 තරගය පැවැත්වෙන මේ 6වැනිදා අයි. පී. එල්. තරගාවලියේ මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පළමු තරගය යෙදී තිබුණද එයට සහභාගී නොවීමට ඔහු තීරණය කොට ඇත. “ අයි. පී. එල් වලට වඩා රට දිනවීම මට වැදගත්. අයි. පී. එල් පළමු තරගය අහිමි වුණත් ඊළඟ තරගවලට යනවා“ මාලිංග පැවැසීය.

බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ වීරයාවූ කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිලෙන් ඉවත්කොට ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය එක්කොට ඇත. කුසල් ජනිත් හා සදුන් වීරක්කොඩි ශ්‍රී ලංකා සංචිතයට එක්කළ ද, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව යහපත්ද? නැද්ද යන්න පිළිබඳ අද තරගයට පෙර පැවැත්වෙන පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුවේ.

නිමාවූ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා විස්සයි 20 පිලට ක්‍රීඩා නොකළ තිසර පෙරේරා අද පැවත්වෙන තරගයට ක්‍රීඩා කරන අතර ඇන්ජලෝ මැතිව්ස්ට මෙම තරගයද අහිමිව ඇත.

බංග්ලාදේශ විස්සයි 20 සංචිතයට නවක ක්‍රීඩක 20 හැවිරිදි මො‍හොමඩ් සයිෆුඩීන් කැදවා ඇති අතර ඔහු නිමාවට පත්වූ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සොයා ගැනීමකි. දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක සයිෆුඩීන් 23න් පහළ ආසියානු නැගී එන ක්‍රීකට් කණ්ඩායම් අතර තරගාවලියේදී පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය. බංග්ලාදේශ එක්දින සංචිතයේ සිටි රොබේල් හොසන් හා සුවගාතා හොම් විස්සයි 20 සංචිතයෙන් ඉවත් කොට බංග්ලාදේශය බලා පිටත් කොට ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෙතෙක් විස්සයි 20 තරග 5ක් පවත්වා ඇති අතර එයින් 4ක් ශ්‍රී ලංකාවද එක් තරගයක් බංග්ලාදේශයද ජය අත්කරගෙන සිටී. ශ්‍රී ලංකාව අවසන්වරට සහභාගීවූ දකුණු අප්‍රිකාව සමග විස්සයි 20 තරගාවලිය 2-1ක් ලෙස හා ඔස්ට්‍රේලියාව සමග තරගාවලිය 2-1ක් ලෙස ජය ගෙන සිටී. එබැවින් ශ්‍රී ලංකා පිලේ විශ්වාසදායී මානසිකත්වය ඉතා හොද මට්ටමක පවතී.

බංග්ලාදේශය අවසන්වරට සහභාගීවූ ආසියානු විස්සයි 20 තරගාවලිය, ලෝක කුසලාන ව්ස්සයි 20 තරගාවලිය හා නවසීලන්තයේ කළ සංචාරය අසාර්ථකත්වයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පිල:

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය, සඳුන් වීරක්කොඩි,

බංග්ලාදේශ පිල:

බංග්ලාදේශ සංචිතය: මෂ්රෆි මොර්ටසා (නායක), ටම්මි ඉක්බාල්, ඉම්රුල් කයිස්, සෞම්‍ය සර්කාර්, මහමුදුල්ලාහ්, මොසඩෙක් හුසේන්, මුෂ්ෆිකර් රහිම්, මුස්ටෆිසුර් රහ්මාන්, නුරුල් හසන්, සබිර් රහ්මාන්, ෂකිබ් අල් හසන්, සුබාෂිස් රෝයි, සන්ජමුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, මෙහෙදි හසන්, මොහොමඩ් සයිෆුඩීන්