රට පුරාම අද වෛද්‍ය වර්ජන

සයිටම් ගැටලුවට රජය මෙතෙක්‌ විසඳුමක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය දක්‌වමින් වෛද්‍යවරු අද (07 දා) දවස පුරා වැඩ වර්ජනයක නිරත වෙති.

මෙම වැඩ වර්ජනය සඳහා ආයුර්වේද හා දන්ත වෛද්‍යවරුන් පමණක්‌ නොව පෞද්ගලික වෛද්‍ය සේවා. ලියාපදිංචි වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ද එක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ සියලු සෞඛ්‍ය සේවකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සෞඛ්‍ය සේවකයන් ද වැඩ වර්ජනයට එක්‌ වන අතර රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ හෙද නිලධාරීන් අද දිනයේ රාජකාරි කරන අතරතුර වැඩ වර්ජනය සඳහා අනියම් ආකාරයෙන් සහාය දක්‌වන බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව තවත් වෘත්තීය සමිති සියයකට අධික සංඛ්‍යාවක්‌ කළු කොඩි ප්‍රදර්ශනය කරමින් රට පුරා විවිධ විරෝධතා පවත්වන බවද කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයන් අද පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහල අසලින් දැවැන්ත පා ගමනක්‌ ආරම්භ කර කොටුව දුම්රිය ස්‌ථානය වෙතට පිවිසෙන බවද කීවේය. පස්‌වරු 3.00 ට කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා රැලියක්‌ පවත්වන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් රි-වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, කාසල් සහ සොයිසා කාන්තා රෝහල්, වකුගඩු ආයතන මෙන්ම සෑම රෝහලකම ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබන වාට්‌ටුවල මෙම වැඩ වර්ජනය සිදු නොකරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටලුවට ඉක්‌මන් විසඳුමක්‌ දෙන ලෙස බලකරමින් වෛද්‍ය වෘත්තීය සමිති, ශිෂ්‍ය ප්‍රජාව සහ සිවිල් සංවිධාන අද (07 වැනිදා) පවත්වන විරෝධයට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේම සියලුම ආචාර්ය සංගම් ද සිය පූර්ණ සහාය පළ කරයි.

සයිටම් ගැටලුව නිසා වෛද්‍ය පීඨ අටේ සියලු අධ්‍යාපන කටයුතු මාස දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ නතර වී ඇති අතර මෙම තත්ත්වය අනාගතයේ වෛද්‍ය ශිෂ්‍යයන් බිහිකිරීම කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇතැයි වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් සම්මේලනය සඳහන් කරයි.

තම සම්මේලනය විසින් පසුගිය මාර්තු මස 13 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙන ලද යෝජනා මාලාව අනුව මෙතෙක්‌ සතුටුදායක පියවරක්‌ ගෙන නොමැති යෑයි ද එම සම්මේලනය පවසයි.