බැඳුම්කර කොමිසමෙන් අර්ජුන්ට අවවාද

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අවසර ලබා දී ඇත්තේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටීමට නොවන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා දැනුම් දුන්නේය.

මේ පිළිබඳ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දැනුම් දී, එසේ නොකරන ලෙස ඔහුට අවවාද කරන ලෙස මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්ෂි විභාග කිරිමේ කටයුතු සිදුවන අතරතුර, එම කටයුතු මඳකට නවතා දැමූ කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා ඒ බව දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත කුමාර මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටින අතර කොමිසම ඇමතූ කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ කටයුතු සිදුවන අතරතුර කොමිසමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීම සඳහා අවසර ලබා දී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටින ආකාරය විනාඩි 20ක පමණ කාලයක් පුරා තමා නීරීක්‍ෂණය කළේ යැයි කීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොමිසමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා අවසර ලබා දී ඇත්තේ ජංගම දුරකථනය ක‍්‍රියාත්මක කරමින් සිටීමට නොවන බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මේ පිළිබඳ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට දැනුම් දී, එසේ නොකරන ලෙස ඔහුට අවවාද කරන්නැයි මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.