ජැකලීන් මුල් වරට ලංකා සිනමාවට


මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරන ලද According to mathew සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන් ෆර්නැන්ඩස් රඟන ප්‍රථම ලාංකේය සිනමාපටය එය වීම විශේෂත්වයකි.

According to mathew ප්‍රේක්ෂකයන් හමුවට ගෙනඒමට තිබෙන සූදානම මොනවගේද?
ඇත්තම කීවොත් මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු නිමවුණේ මීට දින කිහිපයකට පෙරයි. චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් 7 වැනිදායි. ඉංග්‍රීසි චිත්‍රපටයක් වූවත් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා සිංහල හඬ කැවූ පිටපතක්ද මුදාහැරෙනවා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ රටවල් රැසක මෙම චිත්‍රපටය සමගාමීව ප්‍රදර්ශනය කරනවා.

ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය එනම් මැතිව් පීරිස්ගේ අනියම් බිරිඳ වූ ඩැලරින් ඉන්ග්‍රම්ගේ භූමිකාව සඳහා තෝරා ගන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස්වයි. ඇය සමග වැඩ කිරීම මොන විදිහේ අත්දැකීමක් වුණාද?
ජැක්ලින් බොහොම උනන්දුවෙන් තමන්ගේ චරිතය රඟපෑවා. ඒ වගේම ඇයගෙන් මේ චිත්‍රපටයට විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට බොලිවුඩයේ මුල් පෙළේ නිළියන් අතර සිටියත් මීට පෙර තමන්ගේ රටේ චිත්‍රපටයක රඟපා නැති නිසා මේ චිත්‍රපටය ඇයටත් විශේෂයි. මෙහි මැතිව් පීරිස්ගේ චරිතය රඟපාන්නේ ඇල්ස්ටන් කොක්. ඔහු ඕස්ට්‍රේලියාවේ ගායකයෙකු ලෙසත් ප්‍රකටයි. බිම්සරා ප්‍රේමරත්න සහ කියන් ඕගේ‍රඩ් අනෙකුත් ප්‍රධාන චරිතවලට පණ දෙනවා.

මෙය සත්‍ය කතාවක්. ඊට සම්බන්ධ සමහර ප්‍රධාන චරිත තවමත් ජීවතුන් අතර. ඒ නිසා ඔබට මේ ගැන විරෝධතා එල්ල වුණේ නැද්ද?
බොහොම විරෝධතා එල්ල වුණා. නමුත් මම ඒ හැම දෙයකටම සූදානම්. මොකද මම බොරු කතාවක් ගොතලා නැහැ. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණු මිනීමැරුමක්. මම මේ විස්තර සියල්ලක්ම ගත්තේ නඩු වාර්තාවලින්.

චිත්‍රපටයට පදනම් වන ප්‍රධාන භූමිකාව වූ මැතිව් පීරිස් සැබෑ ජීවිතයේදී මුණ ගැසී තිබෙනවාද?
බොහෝ වාරයක් මුණ ගැහිලා තියෙනවා. මම තරුණ කා‍ලේ ඇමෙරිකාවේ ජීවත් වෙන කොටත් වරක් ඔහු මුණ ගැහිලා තියෙනවා. ඒ මීට අවුරුදු විසිපහකට විතර කලින් දවසකයි. මම ජාත්‍යන්තර සිනමා නිර්මාණයක වැඩ කරමින් සිටියා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ. එක පාරටම කෙනෙක් ඇවිල්ලා මගේ උරහිසට අත තියල කතා කළා. මාව හඳුනන්න පුළුවන්ද කියලා ඇහුවම මම බොහොම උණුසුම්ව ඔහුව පිළිගත්තා. ඒ තමයි මැතිව් පීරිස්. ඔහුම තමයි මට මුලින්ම යෝජනා කළේ මේ කතාව චිත්‍රපටයකට නගමු කියලා. මම කීප වතාවක්ම ඔහුව මුණ ගැහිලා කතා කළා. නමුත් පසුව ඔහුට ඕනෑ විදියට චිත්‍රපට කරන්න ඔහු උත්සහ කරන බව තේරුම් ගිය නිසා මම ඔහුගෙන් තරමක් ඈත් වුණා.

අවසානයේ ඔහුට මොකද වුණේ?
ඔහු ජීවතුන් අතර නැහැ. 1995දී ඔහුට විශේෂ සමාවක් ලැබුණා. 1998 මැයි 12 දින ඔහු මිය ගියා.

එතකොට ඩැලරීන් ඉන්ග්‍රම් දැන් කොහේද?
ඇය 1986දී කරනු ලැබූ අභියාචනාවකින් අනතුරුව සිරගෙදරින් නිදහස් වුණා. කොළඹට නුදුරු ප්‍රදේශයක ඇය තවමත් ජීවත් වෙනවා.