ඩෙංගු මදුරුවා කින්නියාවේ පාසල් 66 ක් වසයි

ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් කින්නියා අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 66ක් තාවකාලිකව වසා දැමීමට අද (15) පියවර ගෙන තිබේ.

කින්නියා ප්‍රදේශයේ පමණක් පසුගිය දිනවල පාසල් ළමුන් ද ඇතුළුව 12 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මිය යාම හේතුවෙන්, පාසල් තුළ ඩෙංගු මර්දන කටයුතු කඩිනම් කිරීම සඳහා දින තුනක් පාසල් වසා දැමීමට පියවර ගත් බව කින්නියා අධ්‍යාපන කොට්ඨාසය පවසයි.

ඩෙංගු රෝගයෙන් මිය ගිය අය අතර අවුරුදු 6 හා 7 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකුත්, අවුරුදු 19, 20 වයස්වල පසුවන දෙදෙනෙක් සහ අවුරුදු 26 ත් 40 ත් අතර පසුවන 8 දෙනෙක් සිටින බව කින්නියා සෞඛ්‍ය වෛදය නිලධාරී වෛද්‍ය අජිත් අබ්දුල් මජීඩ් මහතා ‘ලක්බිම’ කළ විමසීමක දී පැවසීය.

ඩෙංගු රෝගය වැළඳුන 50 දෙනෙකු පමණ දිනකට ප්‍රතිකාර ගැනීම සඳහා කින්නියා රෝහලට පැමිණෙන බවත්, මේ වන විට විශාල රෝගීන් පිරිසක් කින්නියා රෝහල තුළ ප්‍රතිකාර ගන්නා බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

ගයාත්‍රි ගීගනආරච්චි