සැර මිරිස්‌ වර්ග යෙදූ ආහාර ගැනීමේ වාසි

මිරිස්‌ යෙදූ සැර ආහාර වර්ග අනුභව කිරීම ආමාශගත ආබාධයන්ට, තුවාලවලට හානිකර වන අතර ගැස්‌ට්‍රයිටීස්‌ වැනි රෝග තත්ත්වයන් වර්ධනය වීමට එම ආහාර වර්ග හේතු වන බව ආදි කාලයේ සිට පවතින මතයකි.

එහෙත් මෑතකදී මෙක්‌සිකෝවේ සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන ඇත්තේ සැර මිරිස්‌ වර්ගවලින් ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය හේතුවෙන් අමාශයට සිදු වන හානිය වළකින බවත් එම මිරිස්‌ වර්ග කැල්සියම් හා විටමින් වර්ග වන ඒ හා සී වලින් අනූන බවත්ය.

මෙම අධ්‍යයනයේදී සැර මිරිස්‌ වර්ග අනුභව කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරන බවද, දියවැඩියාව වැළැක්‌වීමට උපකාරී වන බවද යම් තාක්‌ දුරට සනාථ කර තිබේ.

සැර මිරිස්‌ වර්ගවලට පිළිකාවන් වැළැක්‌වීමේ යම් හැකියාවක්‌ ඇති බවටද බටහිර පර්යේෂකයෝ විශ්වාසය පළ කර තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ සරසවියෙහි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජීජීබෝයි ප්‍රකාශ කරනුයේ කිසිදු අධ්‍යයනයකින් සැර මිරිස්‌ තුනපහ යෙදූ ආහාර අනුභව කිරීම ශරීර සෞඛ්‍යයට අහිතකර බවට සනාථ වී නොමැති බවයි. එමෙන්ම එම ආහාර අනුභව කිරීමෙන් ආමාශගත ආබාධයන් වර්ධනය වන බවටද කිසිදු සාක්‍ෂියක්‌ මෙතෙක්‌ සොයාගෙන නැතැයි ඔහු කියයි.

එක්‌සත් රාජධානියෙහි සිදු කරන ලද රසායනාගාර පර්යේෂණයකදී හෙළි වි ඇත්තේ "කැප්සයිසින්" නමැති සැර මිරිස්‌ කරල් විශේෂය ආහාරයට එක්‌ කර ගැනීමෙන් පෙණහළු හා අග්න්‍යාශය ආශ්‍රිතව ඇති වන පිළිකා සෛල එම සෛල අවට ඇති නිරෝගී සෛලවලට හානියක්‌ නොවන ලෙස විනාශ කරලන බවයි.

සැර මිරිස්‌ වර්ග සහිත ආහාර වේලක්‌ අනුභව කරන රටවල ජනතාව ඇතැම් පිළිකා වර්ගවලට ගොදුරු වීම බටහිර රටවල ජනතාවට වඩා අඩු මට්‌ටමක පවතිනුයේ එම මිරිස්‌ වර්ගවල පවතින ගුණය නිසා බව පර්යේෂකයෝ මේ වන විට විශ්වාසය පළ කර තිබේ.

හංගේරියාවේ සිදු කරන ලද අධ්‍යයනයකදී සැර මිරිස්‌ ආහාරයට ගැනීමෙන් ගැස්‌ටි්‍රක්‌ අම්ල ස්‍රාවය වීම අවම කරන බවට අනාවරණය වී ඇති අතර ඔස්‌ටේ්‍රලියානු අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ සැර මිරිස්‌ වර්ග ආහාරයට එක්‌ කර අනුභව කිරීමෙන් රුධිරයෙහි කොලෙස්‌ට රෝල් නිපදවීම වළක්‌වාලීමේ හැකියාවක්‌ පවතින බවයි. නිරතුරුව සැර මිරිස්‌ යෙදූ ආහාර වර්ග අනුභව කිරීමෙන් දියවැඩියාව වැළැක්‌වීමේ හැකියාවක්‌ පවතින බවද එම අධ්‍යයනය පෙන්වා දී තිබේ.

කැනඩාවේ වැන්කුවර් නගරයේ වෙසෙන වෛද්‍යවරියක වන වෛද්‍ය සුසාන් බියාලිට අනුව අඩු කැලරි ප්‍රමාණයක්‌ සහිත මිරිස්‌ වර්ග ආහාරයට එක්‌ කර ගැනීමෙන් ආහාරය රස ගැන්වීම මෙන්ම කෑම රුචිය වර්ධනය කිරීමටත්, මේදය දහනය කිරීමටත් හැකියාව පවතී.

කෙසේ වුවද සැර මිරිස්‌ වර්ග වුව ආහාරයට ගත යුත්තේ සීමාසහිතව අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ බව වෛද්‍ය මතය වී තිබේ.