මරණ හතෙන් එකක් පිළිකාවකින්

ලෝකය පුරා සිදුවන මරණ හතකින් එක් මරණයක් පිළිකාව හේතුවෙන් සිදු වන බව සොයා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

දියුණු වෙමින් පවතින රටවල හා මධ්‍යම ආර්ථිකයක් පවතින රටවල මෙන්ම එම රටවල් බවට පරිවර්ථනය වෙමින් පවතින රටවල පිළිකා වැඩිවීමේ අවදානමක් පවතින බව සොයාගෙන ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ඔහු මේ අදහස පළ කළේ පෙබරවාරි 4 වන දිනට යෙදෙන “ලෝක පිළිකා දිනය “ නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙවර ලෝක පිළිකා දිනයේ තේමාව වී ඇත්තේ “ මට හැකිය ඔබටද හැකිය” යන්නය. ශ්‍රී ලංකාව තුළ බහුලම පිළිකාව බවට පත්ව ඇත්තේ පියයුරු පිළිකාව වන අතර එය කාන්තාවන්ට වැළදෙන පිළිකාවන් අතරින් සියයට 26.8ක් බවද හෙතෙම කීය.

පියයුරු පිළිකාව හැරුණු කොට වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ මුඛ හා ග්‍රසනිකාව ආශ්‍රිත පිළිකාවන් වන අතර ජනගහනයෙන් ලක්ෂයකට 12.7ක් බවද වාර්තා වන බව ඔහු පෙන්වා දේ.

පිළිකාව කල් ඇතිව හඳුනා ගැනීමෙන් එය වළක්වා ගත හැකි බැවින් දිවයින පුරා පවතින සුව නාරි සායන වෙත පැමිණ අවශ්‍ය පරීක්ෂණ නොමි‍ලේම කල් ඇතිව සිදු කර ගන්නා ලෙසද වෛද්‍ය ජයසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.