'සිරුරේ ගස් වැවෙන' දැරියක්?

මීට සිව්මසකට පමණ පෙර දස හැවිරිදි සාහානා ඛාටුන්ගේ මුහුණේ කිහිප තැනක 'ඉන්නන්' හටගෙන තිබුනත් ඇයගේ පියා එතරම් කනස්සල්ලට පත්වූයේ නැත.නමුත් මේ 'ඉන්නන්' තවදුරටත් ව්‍යාප්තවන බව දුටු සාහානාගේ පියා වෛද්‍ය ප්‍රතිකාර සොයා යාමට තීරණය කළේය.

බංග්ලාදේශයේ උතුරු පෙදෙසක පිහිටි ගම්මානයක ජීවත්වන මොවුන් දෙදෙනා ඩකා අගනුවර රෝහලකට පැමිණියහ.ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් මේවනවිට සැක පළ කරන්නේ 'ට්‍රී මෑන් සින්ඩ්‍රොම්' (tree man syndrome) රෝගය සහිත ලොව ප්‍රථම ස්ත්‍රිය සාහානා විය හැකි බවටය.

මෙතෙක් මෙම රෝගය සහිතව හඳුනාගත් කිහිපදෙනා පිරිමින් වේ.වෛද්‍යවරුන්ගේ රෝග විනිශ්චය නිවැරදි වුවහොත් 'ට්‍රී මෑන් සින්ඩ්‍රොම්' සහිතව දැනට ලෝකයේ ජීවත්වන කිහිප දෙනා අතරට සානා ද එක්වනු ඇත.
ජාන දෝෂයක් මගින් උරුමවන මෙම රෝගයට ලක්වූ තැනැත්තාගේ සම මත බැලූබැල්මට ශාකයක් වර්ධනය වන්නාක් මෙන් පෙනෙන්නට තිබේ.

බොහෝ විට මෙම තත්වය දක්නට ලැබෙන්නේ රෝගියාගේ අතපය හෝ මුහුණ ආශ්‍රිතව ය.මෙවැනි රෝගියෙකු මීට පෙර ද බංග්ලාදේශයෙන් වාර්තා වූ අතර විසිහත් හැවිරිදි අබුල් බජන්දර්ගේ දෑත් සහ දෙපා මෙම රෝගයට ගොදුරුවී තිබුණි.

'ට්‍රී මෑන් සින්ඩ්‍රොම්' සහිත බවට හඳුනාගත් පළමු බංග්ලාදේශ ජාතිකයා වූ ඔහුට වසර ගණනාවක් යනතුරු සිය බිරිඳ හෝ දරුවා ස්පර්ශ කළ නොහැකි විය.
ඔහුට සැත්කම් 16ක් සිදුකෙරුණු අතර ඔහුගේ එක් අතකින් පමණක් ඉවත්කළ කොටස්වල බර කිලෝ ග්‍රෑම් 5ක් පමණ විය.
අබුල් හට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායම ම සහානාගේ රෝගී තත්වය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති. ඔවුන්ගේ අදහස වී ඇත්තේ සහානාගේ තත්වය එතරම් බරපතල නොවන අතර ඇයට ඉක්මන් සුවය ලැබෙනු ඇති බවය.