දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 121කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නේ ය.

ඔවුන් පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 307කි.හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී කොක් අතර දකුණු අප්‍රිකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 19කට සීමා විය.අම්ලා ලකුණු 15කට පිටියෙන් ඉවත් වූ අතර ක්වින්ටන් ඩී කොක් ලකුණු 17ක් රැස් කළේ ය.

7 වැනි එක්දින ශතකය වාර්තා කළ ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 105ක් රැස් කළේ ය.ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර් අතර දකුණු අප්‍රිකා පස්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 117කි.සිව්වැනි එක්දින ශතකය වාර්තා කළ මිලර් නොදැවී ලකුණු 117ක් රැස් කළේ ය.

සුරංග ලක්මාල් ලකුණු 54කදී කඩුලු 2ක් බිඳ දැමී ය.ලකුණු 308ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 45ක් ලෙස සටහන් වන විට නිරෝෂන් දික්වැල්ල පිටියෙන් ඉවත් වූයේ ලකුණු 25කටයි.නායක උපුල් තරංග ලකුණු 26ක් රැස් කළේ ය.දිනේෂ් චන්දිමාල් සහ අසේල ගුණත්න අතර ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවක් ගොඩ නැගූහ.

චන්දිමාල් ලකුණු 36 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් විය .සචිත් පතිරණ ලකුණු 26ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිතිකරුවන් සිවු දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.වේන් පාර්නෙල් , ඉම්රාන් තහීර් සහ ජේ-පී ඩුමිනි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියහ.

දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩූ ප්ලෙසිස් තරගයේ වීරයා විය.ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණේ පසුවන්නේ දකුණු අප්‍රිකාවයි.