නහර ගැට ගැසීමට ප්‍රතිකාරයක්

අප මුදල් පසුපස හඹා යන විට නොයෙක් ලෙඩ රෝග අප පසුපස හඹා එන්නේ අපටද නොදැනීය. එවිට ශාරීරික මානසික පීඩාවන් මෙන්ම ආර්ථික අවාසිද ඇති වෙයි.

රෝග හටගත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළහොත් නිසැකවම සුවය ලබාගතහැකිය. අපට වැලඳෙන බොහෝ රෝගවලට අපඅවට පරිසරයෙන්ම සොයාගත හැකි ඖෂධවලින් සරල ප්‍රතිකාර කළ හැකි බව දන්නේ කීයෙන් කී දෙනාද?

අද නහර ගැට ගැසීමේ රෝගයෙන් පීඩා විඳින බොහෝ අය නිශ්චිත ප්‍රතිකාරයක් නොමැතිව අතරමංව සිටිති. මේ රෝගයට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත.

නහර ගැටගැසෙන්නේ ඇයි? ඊට බලපාන හේතු මොනවාද?

‍පොදු ව්‍යවහාරයේදී නහර ගැට ගැසීම ලෙස හැඳින්වුණත් මෙහිදී සිදුවන්නේ පාදවල ඇති ශිරා එක් තැනකට ඒකරාශි වීමයි. ශිරා තෙරපීම නිසා නොයෙක් සංකුලතා ද හටගනී. මෙම තත්ත්වය උග්‍ර වුවහොත් ඇවිදීම පවා අපහසුය. එබැවින් මෙම රෝග තත්ත්වය හඳුනාගත් සැණින් ප්‍රතිකාර කළ යුතු වේ.

මෙම රෝග තත්ත්වය වැලඳෙන්නේ කුමන තත්ත්වයේ පසුවන අයටද යන්න පිළිබඳව විමසා බැලීම ඉතා වටී. විශේෂයෙන් කිව යුතු වන්නේ මෙය පාරම්පරිකව වැලඳීමේ ඉඩකඩ වැඩි බවය. ඒ අනුව මෙය මාපිය දෙපාර්ශ්වයෙන්ම ආ හැකිය.

ඒ හැරුණ කොට වර්තමාන ජීවන ක්‍රමය යටතේ ව්‍යායාම නොමැතිව අලසකමින් ජීවත් වන අයට මෙම රෝගය වැලඳීමේ ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් මෙම රෝගය වැලඳීමේ අවදානම ඇත්තන් ප්‍රධාන කොටස් කීපයකට බෙදිය හැකිය.

ඒ මෙසේය.
1. ගැබිනි මව්වරුන්
2. ව්‍යායාම නොමැති අය
3. අධික ලෙස තරබාරු අය
4. පාරම්පරික රෝග ඉතිහාසයක් ඇති අය

වර්තමානයේ ගැබිනි මව්වරුන් අතරද මෙම තත්ත්වය බහුල ලෙස දැකිය හැකිය. ඊට හේතුව වනුයේ අද ගැබිනි මව්වරුන්ට නිසි ව්‍යායාම නැතිකමය. බොහෝ විට එක තැනකට වී සිටීම, ගර්භයේ බර දරා ගැනීමට අපහසු වීම වැනි කරුණු නිසා මෙන්ම මූත්‍රා පිටවීමේ දුර්වලතා නිසාද මෙම තත්ත්වය ඇති වේ. ගැබිනි සමයේ යම් දුරකටවත් ඇවිද නොයෑම මෙන්ම එක තැන වාඩි වී සිටීමද මේ රෝග තත්ත්වය ළඟා කර ගැනීමක් වෙයි.

ගෘහ කටයුතුවලදී අදාළ විවිධ කාර්යයන් යන්ත්‍ර සූත්‍රවලට පවරා නිකම් සිටීමද හොඳ නැත.

ශරීරයට ව්‍යායාම නොමැති වීම, ඇවිදීම අඩුවීම, රැකියා කටයුතු හෝ වෙනත් හේතූන් නිසා පාදවලට වුවමනා ව්‍යායාම අඩු වෙයි. ඒ නිසාම පාදවල ඇති ‍ලේ නහර තෙරපී ගැට බවට පත්වේ. තත්ත්වය උග්‍ර වූ විට පාදවල වණ හට ගැනීම ශිරාවලින් ‍ලේ පිටවීම ආදිය දක්නට හැකිය. අධික තරබාරු අයටද එබඳු තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙයි.

මෙම නහර ගැට ගැසීමේ රෝගයට පිළියම් වශයෙන් බොහෝ විට කෙරෙන්නේ ශල්‍යකර්මයි. නමුත් රෝග තත්ත්වය හඳුනාගත් මුල් අවස්ථාවේදීම සරල ප්‍රතිකාරවලින් එය සුවකර ගතහොත් පසුව ඇති වන විවිධ සංකුලතාවලින් බේරිය හැකිය. නහර ගැට ගැසෙන විට එය නොතකා හැරිය නොයුතුය. රෝග තත්ත්ව වර්ධනය වූ විට ඇති වන වේදනාව දරුණු වනවා පමණක් නොව ප්‍රතිකාර තත්ත්වයද බරපතළ වේ.

මුලදී මෙම රෝග තත්ත්වයෙන් මිදීමට විවිධ අත් බෙහෙත් මෙන්ම සරල ප්‍රතිකාර ක්‍රමද නැතිවා නොවේ. දේශීය චිකිත්සාවේ මෙවැනි අත් බෙහෙත් රාශියක් තිබේ. ඒකට යොමු වීමෙන් රෝග තත්ත්වය උග්‍ර වීමේ අවදානම අඩු කර ගත හැකිය. එසේ අත්බෙහෙත් ප්‍රතිකාර ලබන අතරම නිසි ව්‍යායාමයන්ගේ යෙදීමෙන් සුවයක් ලද හැකි වේ.

නහර ගැට ගැසෙන මුල් අවස්ථාවේදී පැඟිරි තෙල් ගෑමෙන් කිසියම් සුවයක් ලද හැකිය. ඉදුණු තක්කාලි ප්‍ර‍ලේපය ගෑමෙන්ද යම් සහනයක් ලබාගත හැකි වේ. අක්කපාන කොළ අඹරා ගත් යුෂට දෙහි බිංදු කිහිපයක් විනාකිරි බිංදු කිහිපයක් හා සහිඳ ලුණු ටිකක් මුසු කොට ගෑමෙන්ද මෙම රෝග තත්ත්වය සමනය කරගත හැකිය. අක්කපාන කොළ අඹරා ආ‍ලේප කිරීමෙන්ද සහනයක් ලද හැකිය.

එසේ වුවද මෙහිලා වඩා ඵලදායී වන්නේ පුවක්මල් ප්‍රතිකාරයයි. උද්භිද විද්‍යාත්මකව ඒපඥචජ ඛිචබඥජඩභ යනුවෙන් හැඳින්වෙන පුවක් බොහෝ විට ප්‍රයෝජනයට ගැනෙන්නේ බුලත්විටට ගන්නා පුවක් වශයෙනි. නමුත් වර්තමානයේ පුවක් සම්බන්ධයෙන් නොයෙක් මතවාද පැවතියත් අනාදිමත් කාලයක සිට පුවක් ගස අපගේ ජන ජීවිතය හා බැඳී පැවැතිණි. පුවක් ගෙඩි, මල්, කොළ, මුල් ආදිය ඖෂධ පිණිසද දේශීය චිකිත්සාවේදී යොදා ගැනෙයි. අපගේ ගැමියන් එදිනෙදා ජීවිතයේදී හැඳි මිට පැණි මුල සෑදීමේ සිට ගෘහ කටයුතු දක්වාද පුවක් භාවිත කෙරිණි. නමුත් පුවක් මල්වලට අප සමාජය සමග ඇත්තේ සුවිශේෂ සංස්කෘතිකමය බැඳීමකි. පිරිත් පැන් ඉසීමට භාවිත කරන්නේද පුවක් මල් කිනිතිය. බෝධි පූජා, ශාන්ති කර්ම ආදියේදීද පුවක් මල්වලට විශේෂ ස්ථානයක් හිමි වේ.

දේශීය චිකිත්සාවේදීද විවිධ රෝගාබාධ සුවපත් කරනු පිණිස පුවක්මල් භාවිත කරනු ලැබේ. විශේෂයෙන් බෙල්‍ලේ ගණ්ඩමාල චිකිත්සාව, කැඩුම් බිඳුම් චිකිත්සාව ආදියේදී මෙන්ම කාන්තා රෝගයක් වන රක්ත ප්‍රදර රෝගයේදීද ළපටි පුවක්මල් උපයෝගී කරගනු ලැබේ. තවද දත් මුල් දියවීම, විෂ ශරීර ගතවීම ආදියේදීද පුවක් මල් ප්‍රතිකාරය සඳහා යොදා ගැනෙයි.

විශේෂයෙන් නහර ගැට ගැසීමේ රෝගයේදී පුවක් මල් උපයෝගී කරගෙන ප්‍රතිකාර කිරීම ඉතා සාර්ථකය. ළපටි පුවක් මල් කපා ලුණු ලා සිහින් වන තුරු වනේ දමා කොටා මලවා රාත්‍රියේ නහර ගැට ගැසී ඇති ස්ථානවල බැඳ තැබිමෙන් මෙම රෝග තත්ත්වය මගහරවා ගත හැකි වේ.

තවද ළපටි පුවක්මල්, අක්කපාන කොළ, අමු ගොරකා බික් දෙකක්, අමු කහ, වල් ඇඹරැල්ලා දලු, සහිඳ ලුණු සමග අඹරා නහර ගැටැ ගැසී ඇති ස්ථානවල ආ‍ලේප කිරීමෙන් රෝගය මුල් අවස්ථාවේදීම සුව කර ගත හැකිය. ඊට අමතරව සියඹලා බොර සමග අක්කපාන කොළ යුෂ ගෑමෙන්ද නහර ගැට ගැසීම අවම කරගත හැකිය.

මෙකී කුමන ප්‍රතිකාරය කළද ව්‍යායාමය අඩු නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිය. නහර ගැට ගැසීමේ රෝගයට මෙවැනි ප්‍රතිකාරයක් කෙරෙන අතරතුර යෝග වැනි ව්‍යායාමයන් කෙරෙන්නේ නම් රෝගය ඉක්මනින් සුව කර ගත හැකි වෙනවා ඇත. කෙසේ වෙතත් එදිනෙදා කෙරෙන ගෘහ කටයුතුවලින් අත පයට ව්‍යායාම ලබා දිය යුතුය.
නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය උග්‍ර අතට හැරුණහොත් දිය කූඩැල්ලන් මගින් රුධිරය ඉවත් කර ප්‍රතිකාර කළ යුතු වේ. නැතහොත් ශල්‍යකර්ම කර ගැනීම දක්වා රෝගය පැතිර යනු ඇත. සැබැවින් මෙම රෝගයට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළ යුතුය.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය