ටැබ් භාවිතයෙන් ඉගෙන ගන්නා පංති කාමර ඇරඹේ

අනාගතයේ ටැබ් පරිගණක ආශ්‍රයෙන් අධ්‍යාපනය හදාරන නවීන ලෝකයට ගැලපෙන සිසු පරපුරක් නිර්මාණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ‍අපේක්ෂාව බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ මෙරට ප්‍රථම වරට ටැබ් පරිගණක ආධාරයෙන් අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් පාසල්වල ‍ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ අලුතින් ස්ථාපිත කැරුණු සුහුරු පන්ති කාමරය ඊ‍යේ (13) සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය තෝරා ගනිමින් ඒ සඳහා සිය විමධ්‍යගත අරමුදලින් දායකත්වය සපයා ඇති අතර, ඒ සඳහා ටැබ් පරිගණක ලබා දීමෙන් දායකත්වය සපයා ඇත්තේ කෝජන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,

'අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසරේ ස්මාට් පන්ති කාමර 100ක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. එමඟින් අනාගතයේ සියලු විෂය නිර්දේශය හා පාඩම් මාලා ඇතුළත් ටැබ් පරිගණකයක් අතින් අරන් දරුවන් පාසල්වලට යනු දැකීම අපේ බලාපොරොත්තුවයි. ‍තොරතුරු තාක්ෂණයේ ශිඝ්‍ර දියුණුවත් සමඟ අනාගතයේ පන්ති කාමරය පවා නැතිවී තිබීමට පවා පුළුවන්. දැනටමත් ලෝකයේ හොඳම සරසවිවල ඊ - ඉගෙනුම් මාධ්‍යය උපයෝ‍ගී කොට ගෙන ගෙදර සිටම පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. අපේ රටත් මේ තත්ත්වය කරා ගමන් කළ යුතුයි.

තොරතුරු තාක්ෂණයේ ඇතිව තිබෙන තිබෙන දියුණුව නිසාම මට හිතෙන්නේ 2020 මහා මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය පවා අන්තර්ජාලය උපයෝගී කර ගෙන සිදුකිරීමට අපට සිදුවේවි. දැන් අපට සෑම දෙයක් ගැනම අලුතින් සිතන්න සිදුවෙලා. අලුත් සංකල්ප සමඟ අලුතින් සිතන්න අප පුරුදු පුහුණු විය යුතුයි. මේ රටේ ලක්ෂ 45ක් වන පාසල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනයේ සිදුකළ යුතු වෙනස්කම්, විෂය මාලා සංශෝධන ආදිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ කමිටු අප පත් කොට තිබෙනවා. ඒ කාර්යය සඳහා දායකත්වය ලබා දෙන ලෙස ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ස්මාට් පන්ති කාමර වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රේඛීය අමාත්‍යාංශයේ එයට සුදුසු පිරිසක් ඉන්න ඕනෑ. එසේ නැතිව බැහැ. අපි ඒ සඳහා දක්ෂයන් තෝරා ගත යුතුයි. අද ළමයින් තාක්ෂණය භාවිතයෙන් ඉතා දියුණු තැනක සිටින්නේ. අපේ කාලයේ වැඩිහටියෙක් ජීවිත කාලය පුරා අත්කර ගත් දැනුම් සම්භාරය එක් මො‍හොතකදී තාක්ෂණය මඟින් උකහා ගැනීමට අපේ දරුවන්ට පුළුවන්. ඒ නිසා ඒ අලුත් තාක්ෂණය, අලුත් දැනුම අපේ දරුවන්ට උරුම කර දීම අපේ වගකීමයි. ස්මාට් පන්ති කාමර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විවිධ බාධක මතු වෙනවා. එයට අවශ්‍ය නවීන ඩෙස් බංකු ටික ගෙන්වන්න ගියාම එයට බාධා ඇති වුණා. මේ දේවල් වෙනස් කරන්න අමාරුයි. ඒත් අපි කළ යුතු වෙනස සිදුක‍රනවා. තරුණ පරපුර අපට ඡන්දය දුන්නේ අලුත් ලෝකයට යන්නයි. ඒ අනාගත යුගයේ සිදුවන වෙනස්කම්වලට අප දැන්ම අපේ දරු පරපුර පුරුදු පුහුණු කළ යුතුයි. ඔළු ටික හැදුවොත් මේ සියල්ල හැදේවි. ඒ වෙනස කරන්න අපි හොඳ කණ්ඩායමක් සමඟ ඉදිරි කටයුතු සිදුකිරීමට සූදානම්' යනුවෙන් ද පැවසීය.

විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

මම මේ වැඩසටහනට සුබ පතනවා. මේක අද මගේ ලොකු හීනයක් සැබෑ වීමක්. මට දැනගන්න ලැබුණා කවුද කට්ටියක් මරදානේ අලුත් කාර් එකක් හදනවා කියලා. මම ගිහින් බැලුවා, ඇත්ත තමයි ඒක හයිබ්‍රිඩ් කාර් එකක්. පැයට කි‍‍ලෝ මීටර් 200ක් 300ක් වේගයෙන් යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක්. සම්පූර්ණයෙන් ම අපේ රටේ හදන එකක්. ආචාර්ය හර්ෂ සුබසිංහගේ මඟ පෙන්වීම යටතේ විශ්ව විද්‍යාලයේ දරුවනුත් සම්බන්ධ කර ගෙන තමයි මේක කරන්නේ. ඇයි මෙවැනි දේවල් කරන්නේ. අපට ඉදිරිය දකින්න බැරි නම් අපි අගාධයට වැටෙනවා. හැමෝට ම පොත්පත් ටික, ඇඳුම් ටික ලබා දෙන්න ඕනෑ. ඇත්ත අපි ඒක නැහැ කියන්නේ නෑ. ඒත් අපි ඉදිරියට යන්න ඕනෑ.

පාසල්වල ඩෙස් පුටු ටික ලබා නොදී මොනදේ කළත් වැඩක් නැති බව පිරිසක් කියනවා. ඒත් ඉදිරිය නොදැක අපට මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බැහැ. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉඳලා ඒ දේ කරන්න බෑ. 2034 දී තිබිය හැකි අනාගතය ජයග්‍රහණය කරවීමටයි අප අද පදනම දැමිය යුතු වන්නේ. 1822 තරම් ඉතා ඈත අතීතයක ආරම්භ කළ මේ රටේ පැරණිතම පාසලක් වන ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයෙන් මේ ස්මාට් පන්ති කාමර වැඩපිළිවෙළ ආරම්භ කළේ මේ ඉදිරි පියවර කොතැනින් හෝ පටන් ගත යුතු නිසයි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දූරදර්ශී අනාගත දැක්මක් සහිත අමාත්‍යවරයකු ලෙස මේ සඳහා සම්පූර්ණ සහාය ලබා දීමට නොපැකිල ඉදිරිපත් වීම අප අගය කළ යුතුයි. ඒ දැක්ම පිළිබඳ හදවතින් ම එතුමාට සුබ පැතිය යුතුයි.

මේ රට අලුත් විදිහට ඉදිරියට යන්න නම් අලුතින් හිතන්න ඕනෑ. ඒ සඳහා අලුතින් හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් අපට අවශ්‍යයි. මේවා කරනකොට විවේචන එයි, සමහරු අපට හිනහත් වෙයි. එත් සත පහකට ගණන් ගන්න එපා. අපි දකිනවා මේවාට දරුවන්ගේ තිබෙන උනන්දුව. අපට තිබෙන්නේ තිබෙන ප්‍රශ්නයට ඒ මොහොතේ ම පිළිතුරු සොයන්නේ කොහොමද කියන එකයි. අපට මේ ස්මාට් පන්ති කාමර ක්‍රමය ව්‍යාප්ත කරන්න පුළුවන්. එමඟින් අපි දරුවන්ට ප්‍රශ්න විසඳන්න පුරුදු කරමු. අනාගතයේ අපට දියුණු ජාතියක් බවට පත්විය හැක්කේ එයින් පමණයි.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, කෝජන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හර්ෂ සුබසිංහ, ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් ඩී.ඒ.ඩී. වානගුරු මහත්වරු ද අදහස් දැක්වූහ.