රංජන් දීමනා එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්වීම සඳහා මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාව තමන් ප්‍රතික්ෂේප කරන බවත්, එම වැඩිකළ මුදල් ලබා නොගන්නා බවට කථානායක කරු ජයසූරිය මහතාව ලිපි දෙකක් මගින් දැනුවත් කිරීමක් කළ බවත් සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

මහජන නියෝජිතයින් ලෙස ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට පත් වූ අයට, ජනතාව වෙනුවෙන් කැපකිරීම් දරාගනිමින් කටයුතු කිරීමට නොහැකි නම් ඔවුන් වෙනත් ජොබ් එකක් සොයා ගත යුතු බව ද ඒ මහතා පැවැසීය.

හෙලිකොප්ටර්, නැව්, විදේශයන් හි දැවැන්ත ව්‍යාපාර, ඇපල් වතු, සමාගම් තිබෙන අය පවා පාර්ලිමේන්තුවේ සිටින බවත් සඳහන් කළ ඒ මහතා ජනතාව විශාල කැපවීමක් කරමින් උග්‍ර ජීවන අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී මහජන නියෝජිතයින් කැප කිරීම් නොකරන්නේ නම් එය සාධාරණ නොවන බව ද කීය.

සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට වරාය, නොරොච්චෝ‍ලේ තාප බලාගාරය, මත්තල ගුවන් තොටු‍පොළ, එයාර් ලංකා පාඩුව මේ ආදී ආයතනවලට රුපියල් කෝටි ගණන් පාඩු වීම් මහින්ද රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන බවත්, එම වැරැදිවලට මහජනතාව වගකිවයුතු නැතැයි ද කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ හොරු අල්ලන බවටත්, එම හොරකම් කර උපයා ගත් මුදල් රාජසන්තක කර, ණය පියවන බවටත් සහතික වෙමින් යැයි ද පැවැසූ ඒ මහතා මේ වන විට රුපියල් කෝටි 400-500 කට ආසන්න හොරකම් අල්ලාගෙන ඇතැයි ද කීය.

එවැනි පසුබිමක මේ සියල්ල ජනතාව මත පැටවීම අසාධාරණයක් යැයි ද පෙන්වා දුන් ඒ මහතා අධික ණය බරක් පවතිද්දී, ජනතාව ඒ වෙනුවෙන් කැප කිරීම් කරමින් සිටියදී ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයෙක් ලෙස තමන් ද එම කැපවීම කරන්නට සූදානම් බැවින් මෙම දීමනා සියල්ල මෙසේ ප්‍රතික්ෂේප කරන බව ද කීය.

කෙසේ වුව ද අති සුඛෝපභෝගි ජීවිත ගත කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අතර දුප්පත් මන්ත්‍රීවරුන් ද සිටින බව තමන් දන්නා බවත් ඔවුන් පිළිබඳ සානුකම්පිතව බැලිය යුතු යැයි ද කීය.

එසේම මවක්, පියෙක්, දරුවෙක්, ගෙයක්, නොමැති ඉතාම සරල ජීවිතයක් ගතකරන මහජන නියෝජිතයෙක් වන තමන්ට මේ සා මුදලක් අවශ්‍ය නොමැති බවත්, ජනතාව වෙනුවෙන් කැප කිරීම් කරන්නට තමන් සූදානම් බවත් කීය.

පද්මිණි මාතරගේ