බත් පැකට්ටුවක මිල රු.10කින් ඉහළට

දිවයින පුරා සියලුම ආපනශාලාවල උදේ හා දහවල් කෑම පැකට් එකක මිල අද (19) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

රට පුරා පවතින සහල් මිල ඉහළ යාම ජනතාවට කෙතරම් පීඩාවක් වී ඇතිදැයි රජයට අවබෝධ කරවීම සඳහා මෙම තීරණයට එළැඹි බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ගබඩාවල වී තොග හා සහල් තොග ඇති ප්‍රමාණය පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව රට පුරා සහල් මාෆියාවක් ඇති කොට දැන් පිටරටින් සහල් ආනයනය කිරීමට රජය සූදානම් වන බව ඔහු පැවැසීය.

එලෙස නිසි පරීක්ෂාවකින් තොරව සහල් ආනයනය කළ පසුව ඒවා පසු කලෙක ගුල්ලන් ගසා විනාශ වන්නට ඉඩ හරින බවත් මෙලෙස රජයේ මුදල් අපතේ හරින්නට එදා සිට සියලු රජයන් කටයුතු කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එබැවින් රටපුරා සියලු සහල් හා වී ගබඩා නිසි ලෙස පරීක්ෂා කොට ඒවායේ ඇති සහල් හා වී තොග පිළිබඳව නිසි තක්සේරුවකින් පසුව සහල් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස තම සංගමය රජයට අවධාරණය කරන බව ද අසේල සම්පත් මහතා කීය.

රජය සහල් මිල අඩු කිරීමට පියවර ගත් වහාම කෑම පැකට් එකක මිල ද යළි අඩු කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා අවධාරණය කළේය.