''මම ජනවාරියේ ආයිත් එනවා'' ලසිත් මාලිංග

ඉකුත් විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සිට පාදයේ ආබාධ තත්ත්වයක්‌ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් ඈත්ව සිටින ලසිත් මාලිංග ලබන ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස තරගාවලියේදී කණ්‌ඩායමට එක්‌වීමට බලපොරොත්තුවෙන් පසුවේ.

''මගේ ආබාධය දැන් හොඳ වෙමින් තියෙනවා. කොහොම හරි ජනවාරි මාසයේ ආයිත් පිට්‌ටනිය මැද්දට එන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. දැන් ටික ටික පුහුණුවීම් කරනවා.'' යෑයි පැවසීය.

2015 වසරේදී ලසිත් මාලිංග විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරගවලදී දැක්‌වූ දක්‍ෂතා හේතුවෙන් ඩයලොග් ක්‍රිකට්‌ සම්මාන උළෙලේදී එම දෙඅංශයේම හොඳම පන්දු යවන්නා සම්මානය දිනා ගත්තේය. කෙසේ වෙතත් සිය ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ලබාදුන් වාර්ෂික ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුව ද ප්‍රතික්‌ෂේප කළ අතර ආබාධය සුවවීමෙන් පසු යළිත් කණ්‌ඩායමට පැමිණෙන විට ලබාදෙන කොන්ත්‍රාත්තුව භාර ගැනීමට මාලිංග සූදානමින් සිටියි.

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්‌තාන් හිටපු වේග පන්දු ක්‍රීඩක වසීම් අක්‍රම් සමඟද මාලිංග සිය අදහස්‌ හුවමාරු කරගත් අතර එහිදී පන්දු යෑවීම පිළිබඳව අක්‍රම් සමගත් කතාබහක මාලිංග එස්‌.එස්‌.සී. පිටියේදී නියෑලූණි. නමුත් මාලිංග තවමත් පන්දු යෑවීම ආරම්භ කර නොමැත. ඔහු ඉදිරි සති කිහිපයේදී ක්‍රම ක්‍රමයෙන් පන්දු යෑවීම ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවේ.