සංගා වෙනුවෙන් වෙනත් රටවල් මුද්දර ගහලා

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට්‌ නායක සහ ලොව වමත් පිතිකරුවන් අතර වැඩිම ටෙස්‌ට්‌ ලකුණුලාභියා වන කුමාර් සංගක්‌කාරගේ රුව ඇතුළත් කරමින් මුද්දර නිකුත් කිරීමට රාජ්‍යයන් දෙකක්‌ කටයුතු කර තිබේ. විශේෂත්වය වන්නේ එම රටවල් දෙකම ක්‍රිකට්‌ ක්‍රීඩාව සඳහා වැඩි උනන්දුවක්‌ නොදක්‌වන රාජ්‍යයන් වීමයි.

සංගාගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇත්තේ සොලමන් දූපත් හා ගිනි බිසව් රාජ්‍යයන් වේ. මීට වසර කිහිපයකට පෙර සිට මෙම මුද්දර නිකුත් කර ඇති බව සඳහන් වේ. මෙසේ සංගක්‌කාරගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇත්තේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ දැක්‌වූ දක්‍ෂතා සහ මහත්මා ගුණයට ගෞරවයක්‌ දැක්‌වීම වෙනුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ.

ටෙස්‌ට්‌ සහ එක්‌දින ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩා නොකරන රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ රුව මුද්දරයකට ඇතුළත් කළ පළමු අවස්‌ථාව මෙය බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සොලමන් දූපත් නිකුත් කර ඇති මුද්දරවල සංගක්‌කාරට අමතරව ඉන්දියාවේ විරාට්‌ කෝලි, මහේන්ද්‍ර සිං දෝනි සහ දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස්‌ යන ක්‍රීඩකයන් වෙනුවෙන් ද මුද්දර නිකුත් කර තිබේ.

අනාගතයේදී සොලමන් සහ ගිනි බිසව් රාජ්‍යවල ක්‍රිකට්‌ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමටද මෙමගින් අවස්‌ථාවක්‌ හිමිවේ. සංගාගේ රුව සහිත මුද්දරයක්‌ සොලමන් දූපත් ඩොලර් 07 කට අලෙවි කරන බවත් ගිනි බිසව් රාජ්‍යය විසින් නිකුත් කළ සංගාගේ රුව සහිත මුද්දරය පෙසෝ 3,000 ක්‌ පමණ වටිනා බවත් විදෙස්‌ වාර්තා සඳහන් කරයි.

කුමාර් සංගක්‌කාර ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවිය නිමා කරන විට ටෙස්‌ට්‌ තරග 134 කදී ශතක 38 ක්‌ සහ අර්ධ ශතක 52 ක්‌ සමග ලකුණු 12400 ක්‌ ලබා සිටි අතර එක්‌දින තරග 404 කදී ශතක 25 ක්‌ සහ අර්ධ ශතක 93 ක්‌ සමග ලකුණු 14234 ක්‌ ලබා සිටියේය. ඔහු විස්‌සයි විස්‌ස තරග 56 කදී අර්ධ ශතක අටක්‌ සමග ලකුණු 1382 ක්‌ ලබා ඇත. මේ වන විට 39 වැනි වියේ පසුව කුමාර් සංගක්‌කාර තවමත් පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට සහභාගි වේ.