පන්නිපිටියේ බෝගහ කපන්න යයි

හයිලෙවල් මහා මාර්ගයේ පන්නිපිටියේ දෙදිසාවට ගමන් ගන්නා මාර්ග හතර සංවර්ධනය කිරීමේ දී රථවාහන ගමනා ගමනයට හරස්‌ව තිබෙන බෝගහ අධිකරණ නියෝගයක්‌ ලබාගෙන කපා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විඡේදාස රාජපක්‍ෂ මහතා මහරගම පොලිසියට දැන්වීය.

මෙම දැන්වීම සිදු කළේ පසුගිය 16 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මහරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්‌වීමේදීය.

බස්‌රථ නතර කරන ස්‌ථානයක්‌ සේම, විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරන, රථවාහන පවා නතර කරන තැනක්‌ බවට පත්ව තිබෙන මෙම බෝගහ එහි පිහිටා තිබීම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ මෙම මාර්ග කොටස පුළුල් කර සංවර්ධනය කිරීමට බාධාවක්‌ව පවතින බැවින්, එය ඉවත් කිරීමට කඩිනම් පියවරක්‌ ගත යුතු බව මාධ්‍යවේදියකු පෙන්වා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම නිවේදනය පොලිසියට නිකුත් කළේය.

වැඩිදුරටත් අමාත්‍යවරයා අදහස්‌ දක්‌වමින් මෙසේද පැවසීය. මෙම රැස්‌වීමට මහරගම ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සභාපති ස්‌වාමින් වහන්සේ මෙහි වැඩම කර සිටිනවා. මෙම ස්‌ථානය ආගමික කටයුතු පවත්වාගෙන යන ස්‌ථානයක්‌ බව පෙනෙන්න නැහැ. මෙය තිබීමෙන්, මෙම ස්‌ථානයේ මාර්ගය පටු වී, රථවාහන මෙන්ම මිනිස්‌ ජීවිතවලට පවා අනතුරු සිදු විය හැකියි. එම නිසා මෙතැනින් බෝගහ ඉවත් කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක්‌.