උ/පෙළ ප්‍රතිඵල ලබන මස මැද

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල ලබන මස දෙවැනි සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා ඊයේ 19 වැනිදා පැවැසීය.

පසුගිය අගෝස්‌තු මස පැවැති මෙම විභාගයේදී තාක්‌ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුන් තිස්‌දහසක්‌ පමණ පෙනී සිටි අතර එම සිසුන්ගේ ප්‍රායෝගික පරීක්‌ෂණ කටයුතුවලට අදාළව දෙපාර්තමේන්තුවට අමතර කාලයක්‌ කැප කිරීමට සිදු වී ඇතැයි ඒ මහතා කීවේය.
මෙම සිසුන්ගේ ප්‍රායෝගික පරීක්‌ෂණ ලකුණු න්‍යාය ලකුණුවලට එකතු කළ යුතු වන අතර මෙවර ඔවුන්ගේ ප්‍රායෝගික පරීක්‌ෂණ සඳහා සියයට විසිපහක උපරිම ලකුණු ප්‍රතිශතයක්‌ හිමි වෙයි.

එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලක්‌ෂ හතකට ආසන්න පිරිසක්‌ පෙනී සිටි අතර ඒ වෙනුවෙන් සැලකිය යුතු කාර්ය භාරයක්‌ දෙපාර්තමේන්තුවට පැවරී තිබිණි. උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සූදානම් කෙරෙන්නේ ඒ අතරතුර යෑයි ද පුෂ්පකුමාර මහතා පැවැසීය.උසස්‌ පෙළ විභාගයට මෙවර පෙනී සිටි සංඛ්‍යාව තුන්ලක්‌ෂයකට අධික විය.