ප්‍රතිශක්‌තිය වඩන දේශීය ආහාර පාන

කොයිවෙලේත් ලෙඩ....ඉස්‌සර වගේ නෙමෙයි දැන් ළමයි හරිම දුර්වලයි....ඔය කාලෙ අපි හිටියෙ ගස්‌ ගල් වගේ නෙ. වර්තමානයේ දරු දැරියන් ගැන තරුණ, තරුණියන් ගැන වැඩිහිටියෝ පවසති. ඇත්තටම එදා ට වඩා අද පරපුර ශක්‌තියෙන් දුර්වල ද? අපි ඒ ගැන මෙවර විමසා බලමු.

වෛද්‍යතුමනි, වර්තමාන පරපුර ඉතා ඉක්‌මනින් ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ ඇයි........?

අද අපි කන කෑම බීමවල වැඩිපුරම තියෙන්නෙ වස විස. ආහාර බෝග වගා කිරීමට යොදන්නේ රසායනික පොහොර වර්ග. ආහාර වර්ග රසවත් කිරීමට යොදා ගන්නෙ විෂ සහිත රසකාරක. එනිසා දැන් අපි දැනුවත්ව වස කනවා.... නොදැනුවත්ව වස ආහාරයට ගන්නවා. ඉන් අපගේ ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වෙනවා. ඉතිං...දැන් අපට නිතරම ලෙඩ.

වෛද්‍යතුමනි මෙම තත්ත්වයෙන් මිදෙන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

පළමුවෙන්ම අප වසවිස නැති පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුයි. උදේට අවදි වී පිරිසිදු ජලය වීදුරුවක්‌ පානය කළ යුතුයි. ඉන්පසු තේ කෝපි වෙනුවට වෙනිවැල්ගැට, කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරු යන ඖෂධ වර්ග හතර යොදා තම්බාගත් පානයක්‌ ගැනීම සුදුසුයි. එසේ නොහැකි නම් තේ කෝපි පානයෙන් පසු හෝ මෙම ඖෂධ පානයක්‌ උදැසනට ගැනීම කළ යුතුයි.

උදැසන ආහාරය සඳහා මුංඇට, කවුපි, කඩල, මඤ්ෙÆක්‌කා, බතල වැනි ධාන්‍ය වර්ගයක්‌ ගැනීම සුදුසුයි. මෙම ධාන්‍ය වර්ගවල ශක්‌තිය වඩන පෝෂණය වගේම විස නසන ගුණයන් තියෙනවා.

දවල් ආහාරය සඳහා කොස්‌, දෙල්, කෙසෙල් මුව, කෙසෙල් බඩ, ගොටුකොළ, සාරණ, වැනි ආහාර ද්‍රව්‍ය එක්‌කර ගැනීම කළ යුතුයි.

ප්‍රතිශක්‌තිය වඩන ආහාර

අතීතයේ සෘෂි වෛද්‍යවරුන් ලෙඩ රෝගවලින් තොරව දිගු කාලයක්‌ ජීවත් වීම සඳහා ගත් සුවිශේෂී සලාද වර්ගයක්‌ තමයි කෝමාරිකා මද, නීරමුල්ලිය කොළ, වැල් තිබ්බටු කොළ හා ගෙඩි, නෙලුම් දළු, කොහිල දළු සමව ගෙන සලාදයක්‌ ලෙස සාදාගෙන දිවා ආහාරයට ගැනීම, මෙම සලාදය අවශ්‍ය නම් එළඟිතෙල් දමා තෙම්පරාදු කර වුව ආහාරයට ගත හැකිය.

එසේම පැසුණු ගස්‌ ලබු මැල්ලුමක්‌ ලෙස හෝ ව්‍යංජනයක්‌ ලෙස නිතර ආහාරයට එක්‌කර ගැනීම තුළින් ශරීරයේ ප්‍රතිශක්‌තිය වඩවා ගත හැකිය.

උදේට ඉදුණු ලාවුළු පලුවක්‌ ආහාරයට ගැනීම දවල්ට නෙල්ලි ගෙඩි තුන හතරක්‌ ආහාරයෙන් පසු අතුරුපස ලෙස ගැනීම, රාත්‍රි ආහාරයට පසු ඉදුණු වෙරළු ගෙඩි දෙකක්‌ පමණ ආහාරයට ගැනීම තුළින්ද ප්‍රතිශක්‌තිය වඩවාගත හැකිය. මේවා අතීතයේ වැඩ විසූ සෘෂි වෛද්‍යවරුන් ප්‍රායෝගිකව අත්හදා බලා තියෙන ආහාර වර්ග ඔවුන් වසර සිය ගණනක්‌ නීරෝගීව ජීවත් වීමේ රහස මෙවැනි ආහාර වර්ග ගැනීමයි.

මෙම ආහාර වර්ග අපිට ඉතා පහසුවෙන් ලබාගත හැකිය. ඉඩකඩම් තියෙන අයට මෙම ආහාර වර්ග තම වත්තේ වගා කරගත හැකිය. එහෙම නැති අයට තරමක විශාල පෝච්චියක හෝ භාජනයක ගොටුකොළ, ගස්‌ලබු, කෝමාරිකා, සාරණ වැනි ගස්‌ වැල් සිටුවා ගත හැකිය. මෙම ගස්‌වැල් සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගත යුතුයි. ලංකාවේ දැනට තිබෙන වස විස නැති ආහාර වර්ග දෙක ලෙස පිළිගන්නේ කොස්‌ සහ දෙල් පමණයි.

හැබැයි මේවාටත් රසායනික පොහොර එකතු කළොත් එම ආහාරත් විනාශ වෙනවා.

වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් අමතන්න.
මොරටුව අඟුලාන සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානයේ
වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල