ප්‍රතිශක්තිය වඩන දියවැඩියාව නසන හේන් වට්ටක්කා


අද බොහෝදෙනකු මිය යන්නේ හෘදයාබාධවලිනි. නැත්නම් පිළිකාවලිනි. මේ තත්ත්වය දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නම් දක්නට නැත. කොතෙක් දැනුවත් කළද මේ මාරාන්තික රෝග විස්සෙන් මිදීමට තවමත් අපගේ ජනතාවට හැකියාවක් නොමැත. එයට හේතුව අපේ වැරදි ඇවතුම් පැවතුම් හා වැරදි ආහාරපානයි. 

අපගේ මුතුන් මිත්තන්ට මෙවැනි රෝග වැලඳුනා නම් ඒ කලාතුරකිනි. ඔවුන් එම රෝග වළක්වා ගත්තේ එදිනෙදා ආහාරපානවල විවිධත්වයට මුල්තැනක් දීමෙනි. හෙවත් ඒකාකාරී ආහාර රටාවෙන් අත්මිදීමෙනි.

වියළි කලාපයේ මෙන්ම අතරමැදි කලාපයේද හොඳින් වැවෙන වට්ටක්කා අප කොයි කවුරුත් දන්නා එළවළුවකි. වට්ටක්කා හුදු එළවළුවක් වශයෙන් නොව ඒකීය ආහාරයක් වශයෙන්ද ගතහැකි අරුම පුදුම ආහාරයකි. උද්භිද විද්‍යාත්මකව Cucurbita maxima lam ලෙස හඳුන්වන වට්ටක්කා ප්‍රභේද රාශියක් දක්නට ඇත. අප රටේද ගෙඩියේ ප්‍රමාණය, හැඩය, වර්ණය අනුව ප්‍රභේද රාශියකි. නමුත් මෙම ලිපියෙන් කතා කරනුයේ වෙළෙඳ‍පොළේ බහුලව දැකිය හැකි ජාන වෙනස් කරන ලද වට්ටක්කා ගැන නොව අපගේ දේශීය හේන් වට්ටක්කා විශේෂය ගැනය.
වට්ටක්කා ආහාරයට ගැනෙන්නේ හුදු ගෙඩි වශයෙන් පමණක් නොවේ. එහි දලු, මල්, ගෙඩි, ඇට ආදී සියලු දෑ ආහාර පිණිස මෙන්ම ඖෂධ පිණිසද ගනු ලැබේ. වට්ටක්කා අතීතයේ සිට අපේ රටේ අවමඟුල් ගෙවල්වල මළබතට පිසෙන සුවිශේෂ ආහාරයකි. එයට හේතු වන්නට ඇත්තේ මෙහි ඇති සුවිශේෂ ගුණය. අවමඟුල් ගෙදරක සිටිනුයේ ශෝකයෙන් පීඩිතව හෙම්බත්ව සිටින පිරිසකි. ඔවුනගේ ශරීරයේ ශක්තිය ඇති කරනු වස් එදා අපගේ ගැමියෝ වට්ටක්කා ආහාරයට දුන්හ.

කුඩා දරුවාගේ ‍පෝෂණීය ආහාරවේලට එක්කර ගත හැකි ප්‍රධාන භෝගයක් ලෙසද වට්ටක්කා පිළිගත හැකිය. එයට හේතුව එහි පිෂ්ටය, ‍ප්‍රෝටීන්, ඛනිජලවණ, විටමින් වර්ග බොහෝමයක් අන්තර්ගතව තිබිමය. අප රටේ ජනයා වට්ටක්කා විවිධාකාරයෙන් ආහාරයට ගත්හ. ඒ කෙසේ වෙතත් වට්ටක්කා ආහාරය අපට බොහෝ ගුණදායක බව නම් කිව යුතුය.

හේන් ගොවිතැන් කළ අපේ පැරැන්නන්ගේ ප්‍රධාන ආහාරවේලක් වූයේ වට්ටක්කාය. වට්ටක්කා තම්බා ආහාරයට ගැනීම මෙන්ම ඒවායෙන් විවිධ ව්‍යාංජන වර්ග සැකසීමද සිදුවිය. ශරීර ශක්තිය අඩු, බරෙන් අඩු දරුවන්ට එදා අම්මලා හේන් වට්ටක්කා තම්බා ආහාර පිණිස දුන්හ. එසේත් නැත්නම් වට්ටක්කා සිහින්ව පෙති කපා වියළා පිටි කොට ඉන් විවිධ කැවිලි වර්ග සකසා දුන්හ. මේ නිසාම දරුවා රෝගවලින් ආරක්ෂා විය. තවද නිතර හඬන දරුවන්ගේ හදවත ශක්තිමත් කිරීමටද වට්ටක්කා මහඟු ආහාරයක් විය. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු වන බව අපගේ පැරැන්නෝ දැන සිටියහ. ඒ වග එහි අන්තර්ගත විටමින් හා ඛනිජ වර්ග පිළිබඳව විශ්‍ලේෂණයේදී අවබෝධ කරගත හැකිය. වට්ටක්කාවල ඉතා බහුලව තන්තු අඩංගු වන නිසා මලබද්ධයද දුරුවෙයි. 

තවද ආන්ත්‍රික පිළිකා වැලඳීමේ අවදානම අඩුවෙයි. අපගේ රුධිර සංඝටකයන් අතර සුදු රුධිරානු වෙනස් වීම පාලනය කිරීමට වට්ටක්කාවලට හැකියාවක් ඇති බව නූතන විද්‍යාඥයෝද පවසති. විශේෂයෙන් පිළිකා සෑදීමේ අවදානමද අඩු කිරීමට වට්ටක්කාවලට හැකියාව ඇත. අධික තරබාරු අයට තරබාරුව අඩුකර ගැනීමටද ඉතාමත් හොඳ ආහාරයකි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඇස්වල පෙනීම දියුණු වන අතර සමද පැහැපත් වේ. එහෙයින් සම පැහැපත් කරගැනීමට නොයෙක් කෘත්‍රිම ආ‍ලේපන පාවිච්චි කරනවා වෙනුවට වට්ටක්කා ආහාරයට ගැනීමෙන් සමට පමණක් නොව සමස්ත ශරීරයටම මහඟු ප්‍රතිලාභ උදාකරගත හැකි වේ. වට්ටක්කාවල තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කර ඒ ආශ්‍රිතව හටගන්නා රෝගවලින් අප මුදවාලීමේ ඇති සමත්කමයි. 

මෙහි ඇති සුවිශේෂ ගුණයක් වනුයේ අපගේ හෘදය ශක්තිමත් කර හෘදයේ දුර්වලතා මගහැරීමයි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත මේදය මෙන්ම දියවැඩියාවද පාලනය කරගත හැකි වේ. අධිරුධිර පීඩනය ඇති අයට ඉතාමත් හොඳ ආහාරයකි. අධිරුධිර පීඩනය පාලනය කළ හැකි විශේෂ ඛනිජලවණයන් මෙහි අන්තර්ගතය. නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගයන්ට ගොදුරු වන දරුවන් එම රෝගවලින් ආරක්ෂා කරගැනීමට නම් වට්ටක්කා තම්බා ආහාරයට දිය යුතු වේ.

එදා හේන් ගොවියා තම හේනේ වට්ටක්කා හොඳින් පැසුණු පසු එහි නටුව පෙදෙස රවුමට කපා ගෙඩිය ඇතුළත ඇට ඉවත් කර හෝ නොකර ගෙඩිය තුළට මිරිස් තුනපහ පුරවා නැවත කට වසා, කෙසෙල් කොළවලින් ඔතා පසුව ඒ වටා මැටි බැඳ හේනේ වළක් හාරා එහි දමා ටික දිනක් ගිය පසු ඒ මත ගිනි මැලයක් ගසා පසුව පිටතට ගෙන තම ආහාරවේලට එක්කර ගැනීමට පුරුදුව සිටියේය. එය බත්, අල, බතල මෙන් ඉතා රසවත් ප්‍රධාන පෙළේ ආහාරයක් විය. ඊට අමතරව වට්ටක්කා කිරට මෙන්ම මිරිසටද, කළු‍පොල් දමාද ව්‍යාංජන ආකාරයෙන් ආහාරයට ගැනීමට අපි පුරුදුව සිටිමු. වට්ටක්කා තම්බා ‍පොල් සමග ආහාරයට ගැනීමටද හැකියාව ඇත. එය හුදෙක් පාන්පිටිවලින් කරන ලද අහරකට වඩා වටිනාකමින් ඉහළය.

සිංහල අවුරුදු කාලයට වට්ටක්කා ගැන කියැවෙන්නේ රබන් පදයකිනි. ‘උඩ පලගත්තත් වට්ටක්කා, බිම පලගත්තත් වට්ටක්කා’ ලෙසිනි. නමුත් සිංහල අවුරුදු කාලයේදී සැකසෙන හත්මාළුවට වට්ටක්කා දලු අත්‍යවශ්‍යය. වට්ටක්කා දලු වෙනම ව්‍යාංජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සකසාගත හැකිය. වට්ටක්කා දලු ආහාරයට ගත යුත්තේ දලු පවනේ තබා, පසුව එහි ඇති බූව කොටස වතුරින් සෝදාගත් පසුය. එවිට මැල්ලුම් සේම ව්‍යාංජන සේද සකසා ගත හැකිය.
ඒ ව්‍යාංජනයට කොස්ඇට කිහිපයක් තළා එකතු කරගැනීමෙන් එය වඩාත් රසවත් කරගැනීමට ගෘහණියන් දැන සිටියහ. වට්ටක්කා දලු ආහාරය මලබද්ධයෙන් මිදීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්ද වේ. තවද ‍ලේ පිටවන රක්ත අර්ශස් රෝගීන්ටද එය ගුණදායකය. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සමනය කිරීමටද ඉතාමත් හොඳ ආහාරයකි. දේශීය චිකිත්සාවේදී දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවලට විශේෂයෙන් වට්ටක්කා දලුද එක්කර ගැනේ. තවද නිරන්තරයෙන් තුනටියේ වේදනාව ඇති අයට වට්ටක්කා දලු අහරින් එම වේදනාව සමනය කරගත හැකි වේ. නමුත් වට්ටක්කා දලු අයෝග්‍ය පිරිසක්ද සිටිති. ඒ අය නම් ගැබිනි මව්වරුය. ගැබිනි සමයේ මුල් මාස පහ හෝ හය තුළ මෙවැනි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ. වට්ටක්කා දලු මෙන්ම මල්ද රසවත් ආහාරයකි. එය ව්‍යංජන ලෙසද, කිරි හොද්දක් ලෙසද සකසාගත හැකිය. විශේෂයෙන් මලබද්ධය ඇති අයට එය ඉතාමත් ගුණදායකය.

වට්ටක්කා ඇටද සුවිශේෂ ගුණයෙන් පිරිපුන් ආහාරයකි. පැරණි මව්වරු වට්ටක්කා ගෙඩියෙන් ඉවත් කරන ඇට වියළා, කබ‍ලේ බැද දරුවන්ට කෑමට දුන්හ. දිනකට වට්ටක්කා ඇට 30ක් පමණ ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය බොහෝ විටමින් වර්ග, ඛනිජලවණ ලබාගත හැකි වේ. මේ නිසාමදෝ වර්තමානය වනවිට වට්ටක්කා ඇටවලින් සකසන ලද විවිධාකාර ආහාර අතිරේකයන් වෙළෙඳ‍පොළේ අධික මිල ගණන්වලට විකිණීමට තිබේ. වට්ටක්කා ඇට ආහාරයට එක්කර ගැනීමෙන් දරුඵල නොමැති අයට දරුඵල ලබාගැනීමට හැකියාව ඇත. ගැහැනු-පිරිමි දෙපක්ෂයේම මදසරු භාවය දුරලීමට එය මහඟු ඖෂධයක්ද වෙයි. තවද මානසික ප්‍රශ්න හේතුකොටගෙන නින්ද නොයන අයට ඉතාමත් ගුණදායකය. එවැනි අය වට්ටක්කා ඇට කිහිපයක් රාත්‍රී ආහාරයෙන් පසු ගැනීමෙන් සුවදායක නින්දක් ලබාගත හැකිය.

වට්ටක්කා ඇටවල ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ශරීරයේ ප්‍රතිශක්තිය දියුණු කිරීමේ හැකියාවයි. එය ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය යහපත් කරයි. මේ නිසාම දියවැඩියා වැනි රෝගීන්ට ඉතාමත් ගුණදායකය. තවද ක්‍රීඩා කරන අයට මෙන්ම කුඩා දරුවන්ටද අස්ථි ශක්තිමත් කරලීමට ඉතාමත් යෝග්‍ය වේ.

අප ගන්නා ආහාරවල ‍පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට සහාය වීමේ සුවිශේෂ ගුණයෙන්ද වට්ටක්කා ‍පොහොසත්ය. මේ නිසා ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා ඇති දරුවන්ට ඉතාමත් යහපත් වේ. එහි තවත් විශේෂ ගුණයක් වනුයේ ඔස්ටියෝ ‍පොරෝසිස් රෝගයෙන් පෙළෙන අයට එම රෝගී තත්ත්වයෙන් මිදීමට මහඟු ආහාරයක් වීමයි. එම නිසා ඒ වෙනුවෙන් නිෂ්පාදිත කිරිපිටි මිථ්‍යාව පසුපස හඹා යන අයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. වට්ටක්කා ඇට වියළා සිහින්ව කොටා තම්බා මීතෙල් සකසන ආකාරයට තෙල් නිස්සාරණය කළ හැකි වේ. එයද ඉතාමත් ‍පෝෂණීය අගයෙන් යුතු තෙල් වර්ගයක් වුවත් භාවිතයට ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවය. ඇට මෙතරම් ගුණ වුවත් අධිකව ආහාරයට ගත් පසු මත් ගතියක් මෙන්ම බඩ පෙරළවන ගතියක් ඇතිවිය හැකිය. එසේම කිරිදෙන මව්වරුන්ට, ගැබිනි මව්වරුන්ට අහිතකරය. වකුගඩු හා පිත්තාශය ආශ්‍රිත රෝග ඇති අයට විශේෂයෙන් අහිතකරය. අඩු රුධිර පීඩනය ඇති අයටද සුදුසු නොවේ.

මේ ආකාරයෙන් බලන කල වට්ටක්කා යනු හෘදය ශක්තිමත් කරන, පිළිකාව, දියවැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරගත මේදය වැනි බෝ නොවන රෝගවලට මහඟු ඖෂධීයමය ආහාරයකි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් විවිධ බෝවන රෝගවලින්ද අපව ආරක්ෂා කර දෙයි. ශරීර ශක්තිය, බලය, ජවය, සමේ පැහැය, පෙනීම යහපත් කරදෙන මහත් බලසම්පන්න ආහාරයකි. නමුත් එය එසේ වුවත් වෙළෙඳ‍පොළේ ඇති වට්ටක්කා ආහාරයට ගැනීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිය. මන්ද එම අභිජනනය කරන ලද වට්ටක්කා වගාකරනු පිණිස රසායනික ‍පොහොර යොදා ඇති බැවින් ඒ රසායනිකයන් අභිජනනය කරන ලද වට්ටක්කාවල අන්තර්ගතව ඇති හෙයිනි. අපගේ දේශීය වට්ටක්කා ආහාරයට ගැනීමට හුරුවිය යුතුය.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය