සාගල අයියා යෝෂිට උදව් කරලා

පසුගිය දා අවමංගල උත්සවයක් අතරතුරේ දී යෝෂිත රාජපක්ෂ මහතා නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා ඉදිරියේ දී හැසිරුණ ආකාරය ලැජ්ජාසහගත බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහතාගේ බිරිඳගේ අවමංගල්‍ය උත්සවයට යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී වී සිටිය දී ඇමැති සාගල රත්නායක මහතා ද එම ස්ථානයට පැමිණ ඇත. එහි දී යෝෂිත රාජපක්ෂ මහතා ඇමැතිවරයා අසලට ගොස් “සාගල අයියා” යැයි ආමන්ත්‍රණය කරමින් යටහත් පහත්ව දෙකට නැමී ඇමැතිවරයා විසින් සිදු කළ උදව්-පදව්වලට ස්තූති කර ඇත. මේ අවස්ථාවේ දී ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ ද මැති ඇමැතිවරු කිහිප දෙනකුම මෙම සිදුවීම දැක තිබෙන අතර ප්‍රසිද්ධියේ එලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් විමතියට පත්ව ඇත. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු මෙතරම් යටහත් පහත් වීමට වුවමනාවක් නැතැයි මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු ලබා දුන් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරමින් තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට යටපත් වී ඇති බව ද දැන ගැනීමට තිබේ. ක්‍ීභ නාලිකාව සඳහා ආයෝජනය කිරීමට මුදල් ලැබුණේ කෙසේද යන්න සාක්ෂි සහිතව ඔප්පු කිරීමට නොහැකි වීම මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්ෂ මහතා තමාට මුදල් ලැබුණේ ඬේසි ආච්චි නමින් හඳුන්වන ඔහුගේ ආච්චි අම්මා වෙතින් බව විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබිණි. කෙසේ නමුත් මෙම ඬේසි ආච්චිගේ කටඋත්තර ගැනීමෙන් පසුව එම විමර්ශන ගැන තොරතුරු අනාවරණය වූයේ ද නැත.
- ඩී. මංජුල කුමාර