පාන් පිටි කෑම 15 ගුණයකින් ඉහළට

හාල් මිල වැඩිවීම හා පාන් පිටි මිල අඩුවීම නිසා මෙරට පාන් පිටි පරිභෝජනය 15 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුබිම ලංකා පදනමේ සාමාජිකයෝ පවසති. මේ නිසා දියවැඩියාව වැනි ලෙඩ රෝග රැසක් අපේ රටේ ජනතාවට වැලඳීමේ අවදානමක් ඇති බව ද පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි.

ඒ අනුව 2013 දී පාන් පිටි මෙට්‍රික් ටොන් 75000 ක් පමණක් මෙරටට ගෙන්වූ නමුත් මේ වසරේදී මෙරටට පාන් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් පමණ ගෙන්වා ඇතැයි මවු බිම ලංකා පදනමේ සාමාජික අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ අතර කුඩා හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියනට අවශ්‍ය තරම් වී සහන මිලට නොදීම නිසා දැනට මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ හාල් මෝල් 3000 ක් වැසී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

2015 යල කන්නයේ මිලදී ගත් හාල් මෙට්‍රික් ටොන් 60000 ක් කිලෝ 1 ක් රුපියල් 24 ගණනේ සත්ව ආහාර සඳහා ලබා නොදුන්නේ නම් මෙතරම් හාල් මිල නැඟීමක් රට ඇතුළත ඇති නොවන බව ද ඒ මහතා ‍පවසයි.