පොලිස් පුවත් පුද්ගලික මාධ්‍යට වැසේ

පසුගියදා රට තුළ ආන්දෝලනයක් ඇති කරමින් පොලිස්පති පූජිත ජයසුන්දර සමග ඇමති සාගල රත්නායක ප‍්‍රසිද්ධ සභාවක ඇමතුමක් ලබාගනිමින් ‘නිලමේ අත්අඩංගුවට නොගැනීමේ කාරණාව’ ගැන ඇතිවූ කතාවෙන් පසු පොලිස් පුවත් පුද්ගලික මාධ්‍ය වෙත සැපයීම පසුගිය සතියේ සිට නතර කර ඇතැයි වාර්තාවේ.

එකී සිද්ධිය පුද්ගලික මාධ්‍ය වලින් මතුකර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව තුළද කථාබහක් ඇතිවුණ අතර අවසානයේ හේතු දක්වා පිළිතුරු බඳින්නට සිදුවිය.

පසුගිය 18 වනදා සිට පුද්ගලික මාධ්‍ය විද්‍යුත් තැපෑලට යොමු කරන පොලිස් පුවත් නතර කර ඇති අතර ඉදිරියට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පුද්ගලික මාධ්‍ය වෙත ඇරයුම් නොකරන්නට උපදෙස් ලැබී ඇතැයිද වාර්තාවේ.කෙසේ වෙතත් මෙම වාරණය රජයේ මාධ්‍ය වෙත බලපා නැත.

මෙම තීරණය ගනු ලැබුවේ, පොලිස්පතිවරයා,පොලිස් මාණ්ඩලික සහකාර නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූ රැස්වීමකදී බවද වාර්තා විය.

මින් ටික කලකට ඉහත පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ධූරයේ කටයුතුද නව පොලිස්පතිවරයා යටතේ වෙනස්කමකට ලක්වූ අතර එයින් පසුව රටේ අපරාධ හා ඇතැම් සිදුවීම් ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ නිල අදහස් දැක්වීම් නිරන්තරයෙන් පළකිරීම නැවතී ඉඳහිට පමණක් ප‍්‍රකාශ නිකුත් විය.