නත්තල් සුබ පැතුම්

සහජීවනයේ පණිවිඩය ලොවට ම පෙන්වමු
- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

අවිචාරය, සැහැසිබව හා ක්‍රෑරත්වය පිරි සමාජයකට ජේසු සමිඳාණන් ගේ උපත මඟින් සහජීවනයේ හා සමාජ සුබසාධන පණිවුඩය ලොවට දායාද වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියයි.

සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක් ලෙසින් සමරනු ලබන නත්තල තුළ තෙපලන්නේ මහා දයාවේ ළබැඳි රිද්මය බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

මානව පරිණාමයේ මිනිසා ලද සුවිශේෂ ජයග්‍රහණ අතර ඔහුගේ ආගමික ප්‍රවේශය අන්සියලු ජයග්‍රහණ අබිබවා සිටී. මිනිසා අන්‍යයන් කෙරෙහි දයාර්ද්‍ර වීමට මෙන්ම අන්‍යයන්ගේ අයිතීන් පිළිබඳව ගැඹුරින් සිතන්නට වන්නේ ඔහුගේ විශ්වාසය මත පදනම් වූ ආගමික නැඹුරුව ඔස්සේය.

වසර දෙදහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලබන්නේ ද අවිචාරය, සැහැසිබව සහ ක්‍රෑරත්වය පිරිවැරුණු සමයකය. එදවස දිළිඳු ගවලෙනක් කේන්ද්‍ර කරගනිමින් ගලාගිය නව ආගමික දැක්මක ආලෝකය නැකැත් තරුවක රුවින් එදා මෙදා තුර මානව උදාරත්වයේ තවත් මඟ සලකුණක්ව දිදුලයි.

එදවස බලයෙන් උමතු වූ හෙරෝද් වැනි රජවරුන් ඉතිහාසය තුළම රඳවා සහජීවනයේත් සමාජමය යහසාධනයේත් පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සදාතනික පූජනීයත්වයට ඔසවා තබනුයේ යහපත වන්දනීය ලෙස සලකන ලෝකවාසී ජනතාවයි.

සියල්ලන් කෙරෙහි ප්‍රේමය දායාද කරමින් නත්තලේ සැබෑ පණිවුඩය වන සාමය, සතුට සහ දයාවෙන් මනුසත්බව පැහැබර කරන්නාවූ තවත් උත්කර්ෂවත් නත්තලකට සියලු කිතුනු බැතිමතුන් වෙත ශුභාශිංසන පිරිනමමි.

සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා!

අහිංසාවාදී විප්ලවයට නව අරුතක් එක්කරමු
- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

සාමය, ප්‍රේමය මුල් කරගනිමින් ක්‍රිස්තුන් වහන්සේ ගෙන ගියාවූ අහිංසාවාදී විප්ලවය අපගේ ජීවිත තුළ අත්දකින්නටත්, එතුමන්ගේ ජීවිතාදර්ශයෙන් ආගමික, ජාතික, සංස්කෘතික විවිධත්වය අගය කරමින්, පිළිගනිමින් සියල්ලන් සමඟ සහජීවනයෙන් දිවි ගෙවන්නටත් මේ නත්තලේ දී අදිටන් කරගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දින සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

සාමයේ කුමාරයාණන් ලෙසින් සුවහසක් කිතු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමස්ත මානව ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියක් බව අපි දනිමු.

සවර්ගය ද, මිහිතලය ද, සමස්ත සොබාදහම ද ජේසු බිලිඳුන්ගේ උපත නිසා එක සේ ප්‍රීතිමත් වූ අතර, එතුමා ඉපදුණු ගවහල දුප්පත් එඩේරුන්ටත්, රජවරුන්ටත් එක සේ සාමයේ සිහිල ගෙනා නවාතැනක් විය. මිහිමත සියලු ජනතාවට සාමයේ, සමානාත්මතාවේ, සංහිඳියාව් විමුක්ති මඟ කියන්නට කැප වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකුගේ ආගමනය සිදුවූයේ එලෙසිනි.

‘කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩදෙමු.’ යන මෙවර රාජ්‍ය නත්තල් උත්සවයේ තේමාව කිතු උපත පිළිබඳව ගැඹුරින් සිතා බලන්නටත්, එය අපගේ ජීවිතාදර්ශය කරගන්නටත් ‍මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කරමි.

ලක්වැසි කිතුනු ජනතාවටත්, සමස්ත ලෝකවාසින්ටත් අසිරිමත් අර්ථවත් සුබ නත්තලකට ආසිරි පතමි.

තමන් පමණක්‌ හරිකියා සිටින උද්දච්ච මිනිස්‌සුන්ට
ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ පණිවුඩය අදටත් වලංගුයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

උද්දච්ච කමෙනුත්, තමන් පමණක්‌ නිවැරදිය යන මතයෙනුත් අන්ද වී සිටින මනුෂ්‍යයන්ට ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ පණිවුඩය අදටත් වලංගු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නත්තල් පණිවුඩයේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කරන ලද එම නත්තල් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රිස්‌තියානි ජනතාව ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපන් දිනය සලකුණු කරන මේ අවස්‌ථාවේදී නත්තල් සාරධර්ම අපේ සිහියට නැඟේ. නිහතමානීකම, තම අසල්වාසියා සමඟ සමගිය, වරදවා තේරුම් ගැනීම් හා එදිරිවාදීකම් සමථයකට පත්වීම, පවුලේ එකමුතුකම මේ උතුම් දිනයේ අරුත සනිටුහන් කරයි. සියලුම කිතුනු පල්ලි, මේ දිනයේ උත්සවකාරී ස්‌වරූපයට වඩා ආගමික වතාවත් හා දේව භාෂිතය මෙනෙහි කිරීමට වැඩි අවධානය යොමුවිය යුතු යෑයි කියා තිබෙන අතර, අප සියලු දෙනාම ඒ උපදෙසට ගරු කළ යුතුය.

ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේට මුළු මානව වර්ගයාටම වලංගු පණිවුඩයක්‌ තිබිණි. බොහෝ මනුෂ්‍යයන්, තමන්ගේ වැරදි නොදකින අතර, අනුන්ගේ වැරදි පමණක්‌ දකී. ඡේසුස්‌ වහන්සේ කන්ද උඩ දේශනයේ අපට කියා දුන් ප්‍රධානම ඔවදනක්‌ වන්නේ අනුන් විනිශ්චය කිරීමට තමන් පාවිච්චි කරන මිනුම් දණ්‌ඩ තමන්ට ද ආදේශ වන බවය. තමන්ගේ ඇසේ තිබෙන ලී කොටය දකින්නේ නැති අය අනුන්ගේ ඇසේ තිබෙන තිත දකින බව ද උන්වහන්සේ අපට කියා සිටියහ. අද උද්ධච්ච කමෙනුත්, තමන් පමණක්‌ නිවැරදිය යන මතයෙනුත් අන්ද වී සිටින මනුෂ්‍යයන්ට ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ පණිවුඩය විශේෂයෙන්ම වලංගු වේ. කිතුනු ධර්මයේ මේ පූජනීය දිනය සමරන සියලුම ලක්‌වාසී කිතුනු බැතිමතුන්ට මගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට මම කැමැත්තෙමි. ඔබ සැමට සුබ නත්තලක්‌ වේවා !


දේවත්වය හා මිනිසත් බව එක්‌කර
උතුම් ගුණාංග ආරක්‍ෂා කරමු
කථානායක කරු ජයසූරිය

දුකට පත් මිනිසුන්ගේ ජීවිත දයානුකම්පාවේ සිසිලසින් නිවාලන ලෙස නත්තල අපට සිහිපත් කර දෙන බව කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ.

එම පණිවුඩය මෙසේය.

ස්‌වකීය හෘද සාක්‍ෂියට දැනුණු නිර්මල සත්‍යය වෙනුවෙන් අපමණ ගැරහුම්, තාඩන පීඩන අවසන කුරුසය මත කුරිරු මරණය තෝරාගත් දේවපුත්‍රයාණන්ගේ මනු ලොව පහළ වීමම මිනිසත් බව උත්තරීතරත්වයට පත් කිරීමකි. කවර කටුක ප්‍රතිඵල අත්වින්දද තම හදවතට දැනෙන සත්‍යය සහ නිවැරැදි දේ වෙනුවෙන් පෙනී සිටීමේ ශේ්‍රෂ්ඨ ගුණය උන්වහන්සේගේ ආත්ම පරිත්‍යාගය ලොවට දුන් පණිවුඩයෙහි අන්තර්ගත වේ.

එබැවින් උන්වහන්සේ මෙලොව පහළ වීම සිහිපත් කරන නත්තල යනු දේවත්වය සහ මිsනිසත් බව එක්‌ කළ එම උතුම් ගුණාංග ආරක්‍ෂා කිරීමට අපට සිහි කැඳවීමකි.

ඡේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උත්පත්තිය සිදු වූයේ සමාජයේ හඬක්‌ නොමැති අන්ත අසරණ පීඩිත ජනතාව අතර ගවලෙනකය. එබැවින් දුකට පත් මිනිසුන්ගේ ජීවිත දයානුකම්පාවේ සිසිලසින් නිවාලන ලෙස නත්තල අපට සිහිපත් කර දෙයි.

සාමය, පරිත්‍යාගය, මානව දයාව, කරුණාව, ඉවසීම, අල්පේච්ඡ බව අපගේ ජීවිතයට, අප සමාජයට එක්‌කර ගැනීම තුළින් නත්තලේදී ඡේසුස්‌ වහන්සේ හා උන්වහන්සේ මිනිස්‌ සමාජය කෙරෙහි දැක්‌වූ අපරිමිත ප්‍රේAමය අප තුළට කැඳවා ගත හැකි වනු ඇත.

එලෙස සෑම හදවතක්‌ තුළම දෙවියන් වහන්සේ වැඩ හිඳින සාමය, සතුට, ආදරය, සංවේදී බව පිරුණු ප්‍රීතිමත්, භාග්‍යවත් නත්තලක්‌ සකල ශ්‍රී ලාංකික සහ ලෝකවාසී බැතිමතුන් වෙත උදාවේවායි ශුභාශිංසනය කරමි.


මැඳුරටත් පැලටත් නත්තල් සතුට
එක ලෙස ලබාදීම යහපාලන රජයේ ඉලක්‌කයයි
- ඇමැති ජෝන් අමරතුංග

මහමැඳුරටත් දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම යහපාලන රජයේ ඉලක්‌කය වී ඇතැයි සංචාරක සංවර්ධන ක්‍රිස්‌තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා නිකුත් කළ නත්තල් දින පණිවුඩයේ සඳහන් වේ.

එම පණිවුඩය මෙසේය.

ශ්‍රී ලාංකීය කිතුනු බැතිමතුන්ගේ හදවත් සාමයෙන් හා සතුටින් අමන්දානන්දයට පත් කරවන නත්තල් උදාව, අප පිළිගන්නේ මහත් ප්‍රීතියෙන් යුතුවය.

ඡේසු සමි¹ණන් ලොවට ගෙන හැර පෑ ආදරයේත් දයාවේත් මහා මනුෂ්‍යත්වය, සකලවාසී ජනයාම ආදර්ශය කොට ගනිමින් නත්තල් උදාව සැමරීම සැබෑ කිතුනුවන්ගේ අභිප්‍රාය ය. හදවත් දුකට පත් කරවන නපුරු සිතුවිලි තුරන් කොට කිතු දහමේ සැබෑ හරයන් ළඟා කර ගනිමින් ප්‍රේමනීය පුරවැසියකු ලෙස ජීවිත සකස්‌ කර ගැනීමටද නත්තලේ උදාව අපව දිරිගන්වයි.

ඡේසු සමි¹ණන් දිළිඳු ගව ලෙනක ඉපිද දුක පීඩාව ජයගත් ශාස්‌තෘවරයාණන්ය. එසේම එයම ආදර්ශය කොට ගනිමින් උන්වහන්සේ අසරණ ජනතාවට පිහිට වීමට අපමණව වෙහෙසුණෝය. නත්තලේ උදාවෙන් අප උන්වහන්සේ පෙන්වා දුන් මේ වටිනා ධර්මය සිහිපත් කරමින් දිළිඳු ජනතාවට යහපත් වදනින් සිත්පිනවීමටත් ප්‍රණීත ආහාර පානයෙන් කුස පිරවීමටත් කටයුතු කිරීම සමි¹ණන් පුද කිරීමට ඇති නිවැරදි මඟකි. එසේම ඡේසු සමි¹ණන්ගේ ජීවන චරිතය අනුව ජීවිත ගැඩගස්‌වා ගැනීම ද සැබෑ කිතුනුවකුගේ ජීවිතය ආලෝකවත් කරවන්නකි.

මහමැ\qරටත් දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අපගේ රජයේ ඉලක්‌කය වී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා එක්‌ව පෙරට ගන්නා ජාතික සංවර්ධනයේත්, සැබෑ සංහිඳියාවේත් අර්ථය එයම බව ඉතා පැහැදිලිව දක්‌නට තිබේ. එබැවින් කිතුනුq බැතිමතුන් ලෙස අපගේ ඡේසු සමි¹ණන්ගේ ආදරය දිනා ගනිමින් සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සමාජයීය වගකීම් ඉටු කිරීමටද මේ නත්තල් සමයේ අදිටන් කර ගත යුතු වෙයි.

පවුලේ සාමය, සමගිය ආරක්‍ෂා කර ගනිමින් අසල්වැසියන්ටද ප්‍රේමය පතුරුවන සමාජ පුරවැසියන් ලෙස සැවොම එක්‌ව නත්තලේ උදාව සැමරීමට ඔබ සැමට ශක්‌තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


පීඩිතයන්ගේ ජීවිත නඟාසිටුවමු
විපක්‍ෂ නායක අර්. සම්පන්දන්

"පීඩාවට පත්ව සිටින පිරිසගේ ජිවිත නඟාසිටුවීමට අදිටන් කරගනිමු" යෑයි විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් කියා සිටී.

එහි මෙසේද සඳහන් වෙයි.

හෙට දින ඡේසුස්‌ වහන්සේගේ ජන්ම දිනය සමරන සියලුම කිතුනු බැතිමතුන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට මම කැමැත්තෙමි.

කිතුනු බැතිමතුන්ගේ දින දර්ශනයේ නත්තල් දිනයට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ඡේසුස්‌ වහන්සේ ස්‌වකීය ජීවිත කාලය පුරාම ජනතාවට ප්‍රේම කිරීම පිළිබඳ ආදර්ශය ලොවට ලබා දෙමින් සමාජය විසින් කොන් කරනු ලැබ සිටි අය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කළේය. තම ආදර්ශයට අනුව ප්‍රේමය, ධාර්මික බව හා පීඩිතයන් කෙරෙහි දයාව දැක්‌වීම යනාදිය ජීවිතයට එක්‌ කර ගනිමින් තම ජීවිතය ගෙන යා යුතු බවට ඡේසුස්‌ වහන්සේ දේශනා කර ඇත.

අප නත්තල් උත්සවය සමරන විට අපේ රටේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පිරිස අමතක නොකිරීමටද වග බලා ගමු. එහෙයින් මෙම උත්සව සමයේදී සමාජයේ කොන් වී සිටින පිරිස අපගේ ජීවිතවලට සමීප කරවා ගැනීමටත් පීඩාවට පත්ව සිටින පිරිසගේ ජීවන තත්ත්වයන් නඟාසිටුවීමටත් ක්‍රියා කරන ලෙස මම ඉතා නිහතමානීව ඉල්ලා සිටිමි.

තවද නත්තල් උත්සවය සැබෑ ලෙස අර්ථවත් කරමින්, අපේ රටේ සාමය හා ප්‍රතිසන්ධානය ඇති කරලීම වෙනුවෙන් සමගියෙන් වැඩ කිරීමට එක්‌වන ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජන කොටස්‌ සියල්ලගෙන්ම ඉල්ලා සිටීමටද මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි.