මන්ත්‍රිවරුන්ගේ අතේ වියදමට ලක්ෂයක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනට රුපියල් ලක්ෂයක වෙනම දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ.

මේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේ මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂයක් දෙන බවට යෝජනා කර තිබෙන්නේ තම ඡන්ද දායකයන් සමඟ සිදුකරන වැඩ කටයුතුවලට වියදම් කිරීමට මිස ගෙදර කටයුතුවලට වියදම් කිරීමට නොවන බවයි.

සාමාන්‍යයෙන් මන්ත්‍රිවරයෙක් කාර්යාලය පවත්වාගෙන යෑමට හා එක් එක් වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ දෙක තුනක් වියදම් කරන බව පැවැසූ අගමැතිවරයා මෙසේද කීවේය. මන්ත්‍රි දීමනා සියල්ල වැඩි කරන්න යන බව අද ඩේලි මිරර් පත්‍රයේ පළවී තිබෙනු දැක්කා ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට එක එක දේවලට මුදල් දෙන්න, විවාහ මංගල උත්සවවලට, අවමඟුල් උත්සවවලට ගියාම තෑගි දෙන්න තිබෙනවා. අපට ඒවා නැහැ.

ඒ නිසා තමන්ගෙ වැඩ කරගෙන යන්න හැම මන්ත්‍රිවරයකුටම එක ගණනක්; රුපියල් ලක්ෂයක් දෙන්න කියා යෝජනා කර තිබෙනවා. මේක ඒ අයට දෙන වෙනම දීමනාවක්. ඒ අයගේ දීමනාත් වැඩිකර තිබෙනවා. මගේ මතය නම් පඩිත් වැඩි කරන්න ඕනෑ කියන එකයි. දැනට එහෙම යෝජනා කර නැහැ.

තවමත් අපේ මන්ත්‍රිතුමන්ලාට ලැබෙන පඩිය ඩේලි මිරර් පත්‍රයේ කර්තෘටත් අනෙක් පත්‍රවල කර්තෘතුමන්ලාටත් ලැබෙන පඩියටත් වඩා අඩු බව මා කියනවා. ඒ ගොල්ලන්ට දෙන පඩියත් දන්නවා. ඒ ගොල්ලොත් දීමනා වැඩි කරන්න කියා ඉල්ලා තිබෙනවා. අවුරුද්දකට විතර කලින් ඒගොල්ලොත් දීමනා වැඩි කරන්න කියා ඉල්ලුවා.

ඒ ගොල්ලන් කියන විදියට ඒ දීමනා වැඩිකරන එක හරි. මන්ත්‍රිවරුන්ගේ දීමනා වැඩිකරන එක වැරැදියි.

මන්ත්‍රිතුමන්ලාට වියදම් කරන්නේ නැතිව ඉන්න බැහැ. එහෙම නම් කාගෙන් හරි ඉල්ලා ගන්න ඕනෑ. ඒ නිසා ඒකද හොඳ මේකද කියා ඉස්සර වෙලා මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න. මන්ත්‍රිතුමන්ලාටත් මුදල් ඕනෑ. වුවමනා ප්‍රමාණයට වැඩියෙන් දීලා තිබේ නම් කියන්න.

මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන දිනකට ගෙවූ රුපියල් 500 දීමනාව තවත් රුපියල් 2,000කින් වැඩි කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුව මසකට දින 8ක් රැස්වන බැවින් මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව මේ අනුව මසකට රුපියල් 20,000කි.