මහ බැංකුවේ රහස් පිට කිරීම ගැන CIDට පැමිණිලි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය මූල්‍ය තොරතුරු වරින් වර පිටතට යාම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස මහ බැංකු අධිපතිවරයා රහස් පොලිසියට පැමිණිලි කිරීමට යයි.

මෙවැනි රහස් මූල්‍ය තොරතුරු වරින් වර හෙළිදරව් වීම රටේ මූල්‍ය තත්ත්වය විශාල අභියෝගයකට ලක්ව ඇති හෙයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය බ්‍රසල්ස් සංචාරයෙන් පසු මූල්‍ය මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.මෙය කඩිනමින් වළක්වාගැනීමට රජය වැදගත් තීන්දු තීරණ රාශියක් ගැනීමට යන බවත් දැනගන්නට ඇත.

මෙවැනි රහස් පිටතට යාම නිසා ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින මූල්‍ය නගරයේ ආයෝජනය කිරීමට නියමිත විදේශ බැංකු හා මූල්‍ය සමාගම් ගණනාවක් නැවත ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම ගැන සලකා බලමින් සිටින බවට ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

දිගින් දිගටම සිදු කෙරෙන මෙම රහස් තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව අගමැතිවරයා මහ බැංකු අධිපති සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ පිළිබඳව සොයා බැලීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

මෙසේ තොරතුරු හෙළිදරව් කරන පුද්ගලයන් කවර මට්ටමේ අයෙකු වුවත් තරාතිරම නොබලා ඔවුනට එරෙහිව නිසි පියවර ගැනීමට මහ බැංකුව කටයුතු කරමින් සිටින බව එම ආරංචිමාර්ග පවසයි.