අක්ෂි සැත්කම් කාච ඉදිරියේ දී නොමිලයේ

ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි සැත්කම්වලට අවශ්‍ය කාච ඉදිරි මාස දෙක තුළදී නොමිලයේ ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. හොඳම වර්ගයේ අක්ෂි කාච නොමිලේ ලබාදීම සිදුකරන බවත් මේ තීරණය ක්‍රියාත්මක දිනයේ සිට කිසිදු අක්ෂි කාචයක් මුදලට ගැනීමට රෝගීන්ට සිදු නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මේ තීරණය ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ තීරණය ක්‍රියාත්මක කිරීමෙන් පසුව රජයේ රෝහල්වලට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කර ගැනීමට පැමිණෙන කිසිදු රෝගියකුට පිටතින් අක්ෂි කාච මිලදී ගෙන එන ලෙස බෙහෙත් තුණ්ඩු ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඔහු අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන යටතේ අක්ෂි කාච 15,000 ක් මේ වසරේදි ලබාදුන් බවත් ලබන වසරේ දී එම සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය. වාර්ෂිකව ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 89,000 ක් සිදු කරන අතර ලබන වසරේදී එය ලක්ෂය දක්වා ඉහළ නංවන්නේ යැයි ද හෙතෙම පැවැසීය.

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට රුපියල් 5500 ක මුදලක් වැය වන බවත් සැත්කමට අවශ්‍ය කාච වෛද්‍ය සැපයීම් අංශය ඔස්සේ ලබාදීම ඉදිරි කාලයේදි සිදු කිරීමට ගත් තීරණය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් බවත් ඔහු ප්‍රකාශ කළේය.