ණය ගෙවන්න ගණිකා සේවයේ යෙදුණු එක්‌ දරු මවක්

විවාහකර ගන්නා බවට පොරොන්දු දුන් පුද්ගලයෙකුට රැවටී ණය මුදලක්‌ ලබා ගත් එක්‌ දරු මවක් එම ණය ගෙවා ගැනීමට නොහැකිව ගණිකා සේවයේ යෙදී ඇති සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලා එහි සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ මේ බව අනාවරණය වී තිබේ.

මෙම මධ්‍යස්‌ථානය වටලා ගණිකා සේවයේ යෙදුණු බව කියන කාන්තාව සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව සමග මිතුරු වී සිටි පුද්ගලයකුට විදේශ රැකියාවකට යැම සඳහා රුපියල් එක්‌ ලක්‌ෂ අසූ දහසක මුදලක්‌ ණයට ගෙන දී ඇති අතර ඔහු පවසා ඇත්තේ රට ගොස්‌ එම මුදල් එවා පසුව පැමිණ කාන්තාව විවාහකර ගන්නා බවය. එහෙත් රට ගිය පසු ඔහු ගැන කිසිම තොරතුරක්‌ නොවූ නිසා ණය මුදල් සහ එහි පොලිය ගෙවීමට මෙසේ ගණිකා සේවයේ යෙදෙන බව ඇය පවසා ඇත.

මසකට පොලිය ලෙස රුපියල් විසි දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිය යුතු බවත් මධ්‍යස්‌ථානයේ කළමනාකරු එක්‌ අයෙකුගෙන් රුපියල් දෙදහස්‌ පන්සියක්‌ අය කරන අතර තමාට ගෙවන්නේ රුපියල් දහසක්‌ බවත් ඇය පවසා තිබේ.

මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි එක්‌දරු මවකි. ඇයගේ දරුවාට වයස අවුරුද්දයි මාස දහයකි. ඇය දරුවා සමග ගාල්ල ප්‍රදේශයේ කඩ කාමරයක්‌ කුලියට ගෙන පදිංචිව සිටින බවත් උදැසන එම ස්‌ථානයෙන් පිටව යන අතර අසල්වැසි කාන්තාවක්‌ විසින් දරුවා බලා ගන්නා බවත් එම කාන්තාවට දිනකට රුපියල් පන්සීයක්‌ ගෙවන බවත් ඇය සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.