බැඳුම්කරයෙන් වැඩිම හානිය අර්ථසාධකයට

ආචාර්ය හර්ෂ ද සිල්වා
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසා වැඩිම හානිය සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට යෑයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (30 වැනිදා) පැවැසීය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳ හෙළිකර ඇතත් එය ගැඹුරින් අධ්‍යයනය කළ හොත් වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට බව පෙනී යනු ඇතැයි ඊයේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. හෙතෙම එහිදී වැඩිදුරත් මෙසේද කීය.

අවුරුදු තුන හතරකට පෙර සිටම මා අර්ථසාධක අරමුදලේ වංචා සිදුවෙන බව කිව්වා. මම චාට්‌ එකක්‌ ගෙනත් එදා මාධ්‍යවල පෙන්නුවා. එදා මම කථා කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මවු සමාගම ගැනයි. මේ ගැන එදා මා රාජ්‍ය සේවා කොමිසමටත් පැමිණිලි කළා. හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැය තුනක්‌ විතර ඉඳලා නැගිටලා ගියා. නැවත කබ්රාල් මහතා රාජ්‍ය සේවා කොමිසමට ගෙන්වා ගන්න මාස 13 ක්‌ ගියා. එදත් ඔහු නැගිටලා ගියා. මේ ගැන ගැඹුරින් අධ්‍යනය කළොත් වැඩි විස්‌තර ලබාගත හැකිවේවි.

අපි කිසිම වෙලාවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ආරක්‌ෂා කරගන්න කතා කළේ නැහැ. මම හෘද සාක්‌ෂියට අනුව වැඩ කරන අයෙක්‌. කෝප් කමිටු සභාපතිවරයා විසින් හිටපු මහා බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ගතයුතු බවට නිර්දේශ කළ කරුණු අනුව ඉක්‌මනින් කටයුතු කළ යුතුයි.