වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි

අමාත්‍ය එස්.බී.දිසානායක
මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වයේ වැඩි ප්‍රවණතාවක් වාර්තා වන බවට බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරීන් විසින් සමාජ සේවා අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පළාත් සමාජ සේවා අමාත්‍යවරුන්ගේ සමුළුවකදී ඔවුන් මෙම දැනුවත් කිරීම සිදුකර ඇති බව සඳහන්ය.

භාරකරුවන් නොමැතිව මහමඟ දමා ගොස් සිටියදී හමුවන වැඩිහිටියන් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් වැඩිහිටි නිවාස යටතට පත් කළ පසුව ඔවුන් භාරගැනීමට යම් ඥාතියෙකු ඇත්දැයි මූලික සොයා බැලීමක් සිදුකළ යුතු බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ ඉදිරිපත් නොවන ඥාතීන්ට අදාළ වැඩිහිටියන් මියගිය පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන පරිදි නීති රීති සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.