ජනපතිට පස්‌සේ හෝ ඇත්ත තේරීම සතුටුයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමාද වී හෝ සත්‍යය තේරුම් ගැනීම සතුටට කාරණයක්‌ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බීබීසී ලෝක සේවය සමග ප්‍රකාශ කර ඇත. සීඅයිඩිය සහ එ සී අයිඩීය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හිටපු නාවික ප්‍රධානීන් තිදෙනකු අධිකරණය වෙත ගෙන ගිය ආකාරය ගැන තමා නොසතුටට පත් වන බවද ජනාධිපති සිරිසේන මහතා පවසා තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් පැවසුවේ ජනාධිපති කළ ප්‍රකාශය ගැන ඇතැම් අය කරන විවේචන පිළිගත නොහැකි බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ නැතැයිද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා බීබීසී ලෝක සේවයට මෙසේද පැවැසීය.

"මොනව වුණත් වර්තමාන ජනාධිපතිවරයාට මේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධ වීම ගැන මම සන්තෝෂ වෙනව. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා සෘජුවම ක්‍රියා කරයි කියල. මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවේවි කියලා.

"අපි අවුරුදු දෙකක්‌ තිස්‌සේ පැහැදිලිවම පෙන්නුම් කරල දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්‍ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ මතම කරනව කියල. දැන් ජනාධිපතිවරයාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන්ම"