දඹගල්ලේ තුන් නිවුන් දරු උපතක්‌

මොනරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි එක්‌දරු මවක්‌ ඊයේ (14 දා) මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී නිවුන් දරුවන් තිදෙනකු ප්‍රසූත කළාය.

විසිපස්‌ වැනි වියෙහි පසුවන කේ. එම්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී දියණියන් තිදෙනකු මෙසේ ප්‍රසූත කළ අතර දරුවෝ තිදෙනා හා මව ඉතාමත් නිරෝගී තත්ත්වයෙන් පසුවෙති. මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්‌. එම්. එස්‌. සමරනායක, වෛද්‍ය චින්තක රාජපක්‌ෂ යන මහත්වරු දරු ප්‍රසූතියට අදාළ සිසේරියන් සැත්කම සිදු කළහ.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ අති දුෂ්කර ප්‍රදේශයක්‌ වූ දඹගල්ල තම්පලාවල ඉලුක්‌පිටිය පදිංචි කේ. එම්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනීට අවුරුදු 2 1/2 ක වැඩිමහල් දියණියක්‌ සිටින අතර ඇයගේ සැමියා වන

ඩී. ඩබ්ලිව්. සුසන්තටද ස්‌ථීර රැකියාවක්‌ නැත. පෞද්ගලික බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ලෙස කටයුතු කරන ඔහුට ලැබෙන ආදායම මෙම දරුවන් හදාවඩා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ.

වෛද්‍ය උපදෙස්‌ මත පෝෂ්‍යදායී ආහාර මෙම දරුවන්ට ලබාදීමට විශාල මුදලක්‌ වැය කිරීමට ඔවුන්ට සිදු වේ.

එබැවින් මෙම දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට උදව් උපකාර කරන මෙන් චන්ද්‍රිකා ප්‍රියදර්ශනී සහ සුසන්ත පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.

තවද තම දරුවන් තිදෙනා නීරෝගීව ප්‍රසූත කිරීමට උපදෙස්‌ සහ අවවාද දෙමින් උදව් උපකාර කළ මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය (ප්‍රසව හා නාරි ශල්‍ය වෛද්‍ය) කාරියවසම් මහතා ඇතුළු වෛද්‍යවරුන්ටත්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටත්, හෙදියන්ටත්, කාර්ය මණ්‌ඩලයේ සියලුම දෙනාටත් ඇය සිය ප්‍රණාමය පුදකර සිටින්නීය.

ඇයගේ ලිපිනය කේ. එම්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී,

ඉලුක්‌පිටිය,තම්පලාවල දඹගල්ල