විවාහය සඳහා නෛතික වශයෙන් පිළිගත් වයස අවුරුදු 18ක් වන අවම වයස් ප්‍රමාණය අවුරුදු 16 දක්වා පහත දැමීමට විවිධ අංශ මඟින් යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ගැහැනු දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්ව ඇති කරන බව සෞඛ්‍ය, අධ්‍යාපන, නීති, මනෝ, සමාජ විද්‍යා, ළමා ඇතුළු විවිධ අංශයන්හි විද්වත්හු අවධාරණය කරති.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න, වෛද්‍ය හරිස්චන්ද්‍ර යමන්දාවල, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී දීපිකා උඩුගම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික මනෝ විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංජලී ද සොයිසා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, ඕස්ට්‍රේලියානු මේ කොමසාරිස්වරිය ඇතුළු විද්වත්හු මෙම විරෝධතා අදහස් දැක්වූහ.
ප්‍රජනන සෞඛ්‍යය හා ලිංගික ක්‍රියාවලිය පිළිබඳ ඇති දැනුම මඳකම ගැහැනු දරුවන් ගර්භිණී බවට පත් වීමට මූලිකවම බලපාන බව පෙන්වා දෙන එම පිරිස් පාසල් අධ්‍යාපනය තුළ ළමයින්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ පුහුණු ගුරුවරුන් මඟින් විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතු බව ද ඔවූහු අවධාරණය කරති.
ස්ව කැමැත්තෙන් හෝ වෙනයම් හේතුවක් නිසා ගර්භිණී බවට පත් වන ගැහැනු දරුවන් ආරක්ෂා කොට නැවත ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයකට යා යුතු බවත්, ඔවුන්ගේ අනාගතය රටේ අනාගතය ද වන නිසා මවුපියන්ට පමණක් නොව රජය ප්‍රමුඛ සමස්ත සමාජයේ ම වගකීම ඔවුන් ආරක්ෂා කර ගැනීම බවත් ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන් ග්‍රාමීය සමාජයන්හි පවුල්වල දරිද්‍රතාව, දරුවන් පාසල් යැවීම හා පාසල් හැරයෑම පිළිබඳ ගැටලු, ප්‍රාථමික සමාජානුයෝජනය, මවුවරුන් විදේශගත වීම, ආකල්පමය වෙනස්කම් ඇතුළු කරුණු රැසක් ළමයින් මේ තත්ත්වයට පත් වීම සඳහා බලපාන බව මෙම විද්වත්හු පෙන්වා දෙති.