භාරත ඝාතනයේ තිදෙනකුගෙන් අභියාචනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීම සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෝ තිදෙනෙක් තමන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවේ ඊයේ (20) අභියාචනා ගොනු කළහ.

පොලිස් කොස්තාපල්වරයකුව සිටි අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද හා හිටපු යුද හමුදා සෙබළකු වන සරත් බණ්ඩාර යන චූදිතයන් සිය නීතිඥවරුන් මගින් මෙම අභියාචනා ගොනු කර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මඬුල්ල පසුගිය 08 වැනිදා චූදිතයන් තිදෙනා වරදකරුවන් කරමින් ඔවුනට නියම කළ මරණීය දණ්ඩනය ඉවත් කර සෙසු සියලු දඬුවම්වලින් ද ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන ලෙස මෙම අභියාචනා මගින් ඉල්ලා ඇත.

මේ නඩුවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු චූදිතයන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම වුණි. මරණ දඬුවම නියම වූ ජනක බණ්ඩාර ගලබඩ නමැති චුදිත අතුරුදන්ව ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනයක් ගොනු කිරීමට නියමිතය. නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබූ අතර නඩුව විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බෙදුම් තීන්දුව වන විත්තිකරුවන් 08 දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරුණි.

සෙසු විත්තිකරුවන් 05 දෙනා චෝදනාවන්ට වරදකරුවන් කරමින් ඔවුනට ජීවිතාන්තය දක්වා වූද වසර විස්ස බැගින් වූද සිර දඬුවම් නියම කෙරුණ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට එම විත්තිකරුවන් 05 දෙනා හට මරණීය දණ්ඩනය නියම වුණි.