එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවෝ යළි රිමාන්ඩ්

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ විත්තිකරුවන් සිවුදෙනාට ලබා‍දුන් ඇප නියෝග නොලැබීම නිසා හෙට(22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (20) නියෝග කළේය.

නව මාසක කාලයක් තිස්සේ මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගරව සිටි බුද්ධි අංශ නිලධාරින් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා නියෝග කර තිබිණි.

ඒත් එම නියෝගය හෝමාගම අධිකරණයට නොලැබීම නිසා මෙම සිවුදෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන නියෝග කළේය.

ඔවුන් සිවුදෙනාට අමතරව නඩුවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සිවු දෙනකු අද උසාවියට ගෙන එනු ලැබූහ.

ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ යන විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අමල් තිලකරත්න මහතා සඳුදා නියෝග කළේය.