දිඹුලාගල ගොවියෝ කුඹුරු ගිනි තියති

ගොයමට අවශ්‍ය ජලය නිසිලෙස නොලැබීම හේතුවෙන් දිඹුලාගල ප්‍රදේශයේ ගොවීහු පිරිසක් පෙරේදා (10දා) තම කුඹුරු ගිනි තබා විනාශ කර දැමූහ.

නාමල්පොකුණ ඩී 02/105 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් මෙලෙස තම වියළී විනාශ වී ගිය ගොයමට ගිනි තැබූහ.

දිඹුලාගල දළුකාන වැව හරහා ජලය ලබාදෙන තම කුඹුරු ඇළ මාර්ගයේ කෙළවර පිහිටීම නිසා මේ යල කන්නයේ ගොයමට අවශ්‍ය ජලය ලබාදීමට මහවැලි නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයන් කටයුතු නොකිරීම තම කුඹුරුවල ගොයම් මැරීයෑමට ප්‍රධාන හේතුව බවත් මේ වන විට ප්‍රදේශයේ කුඹුරු අක්කර 300ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් ගොවීහු පැවැසූහ.

වී වැපිරීමට බිම් සකස් කරන කාලයේ පටන් කිහිප අවස්ථාවකදී මහවැලි බලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයන් දැනුවත් කළත් තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා ජලය නොමැතිව හානි වූ සියලු කුඹුරුවල ගොයමට ගිනි තබා විනාශ කළ බව එම ගොවීහු පැවැසූහ.

නාමල්පොකුණ ඩී 02/105 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ලේකම් අයි.එම්.එස්. කුමාර මහතා මෙලෙස අදහස් දැක්වීය.

මම තමයි මේ ඇළේ ජල පාලක. හැබැයි මගේ කුඹුරුත් වතුර නැතිව මැරුණා. මම අනෙක් අයගේ කුඹුරු ගැන හිතලා මගේ කුඹුරුට වතුර දාන්නේ නැතිව පුළුවන් විදියට දුන්නා. මම පුළුවන් තරම් නිලධාරීන්ට කිව්වා අපේ දුක. හැබැයි අපේ දුක පොඩ්ඩක් හරි තේරුණේ දිඹුලාගල කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහත්තයාට විතරයි.

හැබැයි එතැනින් එහාට ඉහළ නිලධාරීන්ට අපේ දුක පේන්නේ නෑ. වතුර කපලා මම ගෙදර එද්දී රෑ 12ට 1ට විතර. ඒ එද්දී හොර යතුරු තියාගෙන අපේ වතුර වහලා වෙන වෙන කුඹුරුවලට වතුර දා ගන්නවා.

මහවැලියේ නිලධාරීන් සහ ගොවි සංවිධානවල නියෝජිතයෝ ප්‍රධාන වශයෙන් මේකට වග කියන්න ඕනේ.
අපි නිතරම කිව්වා මහවැලියට මේ අපිට ඕන කෙත් ඇළවල් නඩත්තු කරලා දෙන්න කියලා. ඒ කොන්ත්‍රාත් දෙන්නේ හොරුන්ට. තිබ්බ ටිකත් කඩලා දාලා උන් යනවා. අපේ ගොවි සංවිධානයේ ගොවියෝ 205ක් ඉන්නවා. මේ අය කුඹුරු අක්කර 550ක් විතර කරන්නේ ඒකෙන්. දැන් බාගෙට බාගයක් ගොයම මැරිලා. අපිට කියන්න කෙනෙක් නෑ.

මගේ දරුවන්ට බත් කටක් කවන්න, ඉස්කෝලේ යවන්න, පොතක් පතක්, පැන්සලක් අරන් දෙන්න විදියක් නෑ. මේ කන්නේ අඩුම තරමේ මගේ දරුවන්ට කැඳ කෝප්පයක් හදලා දෙන්න වී ඇටයක් ගන්න බැරි වුණා මහත්තයෝ.

ඩී02/105 බෙදුම් ඇළ නාමල් පොකුණ ගොවි සංවිධානයේ සාමාජිකයකු වූ 35 වියැති කේ. වසන්ත කුමාර ගොවි මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කෙළේය.

හිතක් පපුවක් නැති නිලධාරීන්ගේ වැඩ නිසා මගේ කුඹුරත් එක වී ඇටයක් ගන්න බැරි තරම් විනාශ වුණා. අපිට සතියට දෙපාරයි වතුර ලැබුණේ. වතුර ටිකෙන් කිරට නැවෙනකම් ගොයම හදා ගත්තා. දැන් වතුර නැතිව හොඳටම වේළිලා. කුඹුර දිහා බලන්න බෑ ළමයින්ට කන්න දෙන්නේ මොනවද?

හැම තැනටම ණය වුණා. බැංකුවලට ණය. ගෙදර තිබ්බ හැම සේසතම උකස් කළා. ලොකු බලාපොරොත්තුවකින් මේ පාර අපිත් ගොඩ යයි කියලා දැන් අපිට ගොඩ යන්න බැහැ. වහ බොන්න වෙලා තියෙන්නේ.

නාමල්පොකුණ වී ගොවීන් නඟන චෝදනාව පිළිබඳව අපි දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතාගේ දුරකතනයෙන් කළ විමසීමකදී පැවැසුවේ එම ගොවීන් ප්‍රමාදවී වී වගාව කළ බවත් මහවැලි ජලය නිකුත් කිරීමේ කාල සටහනට අනුව ඔවුන්ට එම තත්ත්වය අනුව ජලය ලබා ගැනීම ප්‍රමාද වූ බවත්ය.